October 15, 2026

මෙරට ඉතිහාසය පුරා සාමාන්‍ය ජනතාව වෙත පමණක් අසමාන ලෙස ක්‍රියාත්මක වූ නීතිය, අද වන විට බලගතු දේශපාලන චරිත වෙත ද ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එය 2015 යහපාලන සමයේ මෙන්ම වර්තමානයේද සමාජය අපේක්ෂා කළ සාධනීය වෙනසකි. වර්තමාන නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය දෝෂ රහිත යැයි කිව නොහැකි වුවද, අතීතයට සාපේක්ෂව වඩාත් විධිමත් මාවතකට පිවිස ඇති බව පිළිගත යුතුය.

විශේෂයෙන්ම රාජ්‍ය මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම යනු හුදු වංචාවක් පමණක් නොව, රටේ මතු පරපුරේ පැවැත්ම පවා ණයගැති කරවන ද්‍රෝහී ක්‍රියාවකි. එබැවින් එයාර්බස් ගනුදෙනුව හෝ ‘සිරිලිය සවිය’ වැනි ඕනෑම චෝදනාවක් විනිවිදභාවයෙන් යුතුව විමර්ශනය විය යුතුය. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙනවා සේම, මැලේසියාව සහ දකුණු කොරියාව ආදර්ශයට ගනිමින්, අවභාවිත වූ මුදල් මෙන්ම විමර්ශන සඳහා වැය වූ පිරිවැය ද පොලිය සහිතව වගකිවයුත්තන්ගෙන් අය කරගත යුතුය. වත්මන් ජනාධිපතිවරයා පටු පළිගැනීමේ දේශපාලනයක නිරත වනු ඇතැයි සිතිය නොහැක්කේ, වසර ගණනාවක විපක්ෂ දේශපාලන අත්දැකීම් සහ 2/3ක ජනවරම තුළ පවතින දැවැන්ත අභියෝගය පිළිබඳ ඔහු සතු විය හැකි අවබෝධය නිසාවෙනි.

ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කියැවෙන කතා සත්‍ය විය හැකිය, නැතහොත් අසත්‍ය විය හැකිය. කෙසේ වුවත්, ඇගේ වයසද සැලකිල්ලට ගත් විට බන්ධනාගාරයක් තුළ රඳවා තබාගැනීමට වඩා, දැඩි කොන්දේසි සහිතව හෝ ඇප ලබා දී ඇයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගනිමින් නඩු විභාගයට මුහුණ දීමට සැලැස්වීම උපායමාර්ගිකව ඉතා වැදගත්ය. පැහැදලිවම රජයට වඩා පෞද්ගලිකව ඇගේ සෞඛ්‍ය රැකගැනීමට කටයුතු කිරීමට ඇයට වැඩි හැකියාවක් ඇත.

කෙසේ වෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි චෝදනා කොතෙක් බරපතළ වුවද, අධිකරණ තීන්දුවකින් වරදකරු වන තෙක් ඇය නීතිය ඉදිරියේ නිර්දෝෂී තැනැත්තියක ලෙස සැලකිය යුතුය. රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම යනු දඬුවමක් නොව, විමර්ශනයකට බාධා වීම හෝ පලා යාම වැළැක්වීම සඳහා භාවිත කරන අතිශය සුවිශේෂී නීතිමය පියවරක් පමණි. ඇප ලබා දීම පොදු නීතිමය රීතියයි. ඇය අධිකරණය මඟහැර පලා යාමේ අවදානමක් නොමැති පසුබිමක, ඇයට ඇප ලබා නොදීමට ප්‍රමාණවත් සුවිශේෂී හේතුවක් නොමැත.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ අධිකරණ ක්‍රියාවලියේ සැබෑ අරමුණයි. එනම්, චෝදනාවලට විධිමත්ව මුහුණ දීමට චූදිතයාට ඉඩ සලසා, නඩු විභාගය අවසානයේ සාක්ෂි මත වරදකරු කර දඬුවම් නියම කිරීමයි. ඒ සඳහා චූදිතයා ජීවත්ව සහ නිරෝගීව සිටීම අත්‍යවශ්‍ය සාධකයකි. ඕනෑම චූදිතයෙකු නඩු විභාගය අතරතුර මිය ගියහොත්, ඔහු හෝ ඇය නීතිය හමුවේ සදහටම මිය යන්නේ ‘නිවැරදිකරුවෙකු’ වශයෙනි. එයින් යුක්තිය අපේක්ෂා කරන ජනතාවට හෝ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවේ.

අධිකරණයට ක්‍රියා කළ හැක්කේ ඉදිරිපත් වන නීතිමය සාක්ෂි හා විධිවිධාන මත පමණි. ආණ්ඩුවට ද මෙම ක්‍රියාවලියට සෘජුව මැදිහත් වීමේ හැකියාවක් හෝ අයිතියක් නැත. එබැවින් මෙම සමස්ත ක්‍රියාවලියේ සාර්ථකත්වය සහ විශ්වාසනීයත්වය රඳා පවතින්නේ විමර්ශකයන් සහ රජයේ නීතිඥවරුන් (නීතිපති දෙපාර්තමේන්තුව) සතු විචක්ෂණභාවය මතයි. චූදිතයාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට ලක් නොවී නඩු විභාගය අවසන් වන තෙක් ඇයට පෙනී සිටීමට හැකි වාතාවරණයක් (ඇප ලබා දීම ඇතුළුව) සැලසීම ඔවුන් සතු උපායමාර්ගික වගකීමකි. කිසියම් අවාසනාවන්ත හේතුවකින් නඩු තීන්දුවට පෙර ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත්, එය සමස්ත නීති පද්ධතියේ විශ්වසනීයත්වයටත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටත් එල්ල වන මරු පහරකි. එබැවින් රාජ්‍ය පාර්ශ්වයේ නීතිවේදීන් චිත්තවේගී නොවී, පරිණතභාවයෙන් හා උපායමාර්ගිකව ක්‍රියා කරමින් මෙම නඩු විභාගය සාර්ථක අවසානයක් දක්වා මෙහෙයවිය යුතුය.

(ඕෂල හේරත්ගේ ෆේස්බුක් පිටුවෙන්)