October 14, 2026

14 වන ලියෝ පාප්වහන්සේ පෙනහැල්ලේ පිළිකා රෝගයෙන් පෙළෙන බව වතිකානය අනාවරණය කරයි.

කෙසේවෙතත්, උන්වහන්සේගේ දකුණු පෙනහැල්ලේ පහළ කොටස ඉවත් කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වූ බව වතිකානය විශේෂ වෛද්‍ය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියි.

71 හැවිරිදි වියේ පසුවන ශුද්ධෝත්තම පියතුමන් ඊයේ රෝමයේ ජෙමෙලි රෝහලේදී මිනිත්තු 90 ක පමණ කාලයක් පුරා සිදුකෙරුණු ශල්‍යකර්මයකට භාජනය වූ අතර, ඉන් අනතුරුව උන්වහන්සේ adenocarcinoma නමැති පෙනහලු පිළිකා තත්ත්වයෙන් පෙළෙන බව නිල වශයෙන් තහවුරු විය.

“ශල්‍යකර්මය කිසිදු සංකූලතාවයකින් තොරව සාර්ථකව නිම විය. ශල්‍යකර්මයෙන් පසු පාප්වහන්සේ සාමාන්‍ය පරිදි සිහිය ලැබූ අතර, කෙටි නිරීක්ෂණ කාලයකින් පසුව උන්වහන්සේගේ කාමරය වෙත යොමු කරන ලදී,” යනුවෙන් වතිකානය සඳහන් කළේය.

වතිකානය සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස විස්තර කරන ලද සෞඛ්‍ය පරීක්ෂණයකදී මෙම අසාමාන්‍ය සෛල වර්ධනය මුලින්ම හඳුනාගෙන ඇත. පාප්වහන්සේ සතියක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශල්‍යකර්මයට පෙර විශාල ජනකායක් පාප්වහන්සේ බැලීම සඳහා පැය ගණනාවක් පුරාවට රෝහලෙන් පිටත රැඳී සිටියහ.

වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ, පිළිකාමය තත්ත්වය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කිරීම තහවුරු කිරීම සඳහා පාප්වහන්සේගේ දකුණු පෙනහැල්ලේ මුළු පහළ කොටසම ශල්‍යකර්මය හරහා ඉවත් කළ බවයි.