August 12, 2026

නුවරඑළිය, සීතාඑළිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකගේ ඉඩමකට අනිතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියකදී ඇගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තහවුරු කරගෙන තිබේ.

නෝනා බට්ටෝන් සහ United Human Rights Organization හි සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට (HRC/HAT/58/26/N) අදාළව සිදුකළ මූලික පරීක්ෂණවලින් පසුව මානව හිමිකම් කොමිෂන් සභාවේ නුවරඑළිය – හැටන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී එච්.කේ. විතාන විසින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී ඇත.

කොමිෂන් සභාවේ වාර්තාවට අනුව සිද්ධිය මෙසේය:

අයි.කේ.ජී. උපසේන නමැත්තාට ප්‍රවේශ වීමට වෙනත් මාර්ගයක් තිබියදී, නෝනා බට්ටෝන්ට අයත් අංක 478/ඒ/86 දරන වාර්ෂික බලපත්‍ර ඉඩම මතින් අනිතික ලෙස මාර්ගයක් ලබාගැනීමට උත්සාහ කිරීම මත මෙම ආරවුල හටගෙන ඇත.

අදාළ වසම භාර ග්‍රාම නිලධාරිනිය නිසි අවබෝධයකින් තොරව මැදිහත්වීම මෙම ආරවුල දුරදිග යාමට හේතු වී ඇති අතර, අනෙක් පාර්ශවය නීතියට හෝ රාජ්‍ය නිලධාරීන්ගේ අණට අවනත නොවී අත්තනෝමතිකව කටයුතු කිරීම නිසා බරපතල ලෙස සාමය කඩවී ඇති බව පැහැදිලි වේ.

මෙම ගැටුම්කාරී තත්ත්වයේදී පැමිණිලිකාරිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ද්වේෂසහගත සැලකිලිවලට භාජනය වී ඇති අතර, ඇගේ ජාතිකත්වය ද මෙලෙස හිංසනයට පත්වීමට පාදක වී තිබීම කණගාටුදායක තත්ත්වයක් බව කොමිසම පෙන්වාදෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණිලි කළ ද, අපරාධයක වින්දිතයන් ලෙස ඔවුන්ට සහනයක් ලැබී නොමැත. මේ හේතුවෙන් පැමිණිලිකාරිය ශාරීරිකව, මානසිකව හා දැඩි ලෙස ආර්ථික අපහසුතාවලට ලක්ව සිටී.

මෙම තත්ත්වය හමුවේ අදාළ කාන්තාවගේ සහ ඇගේ පවුලේ අයගේ නිදහසේ සහ ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ මානව අයිතිය සුරක්ෂිත කිරීම සඳහා, අනිතික ලෙස භුක්ති විඳීමට උත්සාහ කරන ප්‍රවේශ මාර්ගය වසා දැමීමට ස්ථිර වැටක් ඉදිකිරීම ඇතුළු අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇත.

එමෙන්ම ඊට අදාළව ගනු ලබන පියවර පිළිබඳව 2026 අගෝස්තු 05 වන දිනට පෙර කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දී තිබේ.