August 12, 2026

පසුගිය ජූලි මාසයේදී සිදු කළ තුර්කි සංචාරය නිමවී ආපසු පැමිණීමේදී තමන් රහසිගතව වෙනත් ගුවන් යානයකට ගොඩවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සිදු කළ අනාවරණයෙන් අනතුරුවයි.

එහිදී ඔහු සඳහන් කළේ ඇතිවූ යම් ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් මෙම රහසිගත පියවර ගැනීමට සිදුවූ බවයි.

තමන් වෙනත් ගුවන් යානයකින් ගමන් කළ යුතු බවට තීරණය කළේ රහස් ඔත්තු සේවය සහ හමුදාව විසින් බව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසීය.

“ඔවුන්ට අවශ්‍ය වුණා මාව වෙනත් ගුවන් යානයකින් යවන්න. මම හිතන්නේ එතන ලොකු ආරක්ෂක තර්ජනයක් තිබුණා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජූලි 8 වනදා කැමරා ඉදිරියේ එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවූ ට්‍රම්ප්, පසුව ආහාර සපයන රථයක් ආධාරයෙන් රහසිගතව හඳුනානොගත් වෙනත් ජෙට් යානයකට මාරු වූ බවට ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත කළ වාර්තාව NBC පුවත් සේවය විසින් ද තහවුරු කර තිබේ.

මාධ්‍යවේදීන් සහ ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට්‍රම්ප් ‘එයාර් ෆෝස් වන’ යානය තුළ සිටින බව සිතා සිටියදී, ඔහු මෙම රහසිගත ජෙට් යානයෙන් අන්කාරා සිට එක්සත් රාජධානියේ පිහිටි හමුදා කඳවුරක් වෙත පියාසර කර ඇතැයි වාර්තා වේ.

“ඇත්තටම මම හිතන්නේ මම ගමන් කරපු යානයට වැඩි අවදානමක් තිබුණා. ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒ යානයට ප්‍රහාර එල්ල වෙන්න තිබුණු ඉඩකඩ වැඩියි,” යනුවෙන් අඟහරුවාදා ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ‘එයාර් ෆෝස් වන’ ලෙස සලකුණු කර නොතිබූ ‘C-32’ වර්ගයේ එම හඳුනානොගත් ජෙට් යානය ප්‍රහාරයකට ලක්වීමේ වැඩි අවදානමක් තිබුණේ මන්දැයි ඔහු වැඩිදුර විස්තර කළේ නැත.

ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් එන්.බී.සී. නිව්ස් වාර්තා කරන්නේ, ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා ඉරානය විසින් දියත් කිරීමට සැලසුම් කළ අලුත්ම කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ මෙම ගුවන් යානා මාරුව සිදුකර ඇති බවයි. තුර්කියෙන් පිටත්ව යන අවස්ථාවේදී ‘එයාර් ෆෝස් වන’ යානය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් තිබී ඇත.

ජනාධිපතිවරයා නොමැතිව එම යානයේ ගමන් කළ පිරිස අතර මාධ්‍යවේදීන්ට අමතරව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ඇතුළු ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සිට ඇත.