August 12, 2026

ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයෙන් අලුත්ම ලෝක ගිනස් වාර්තාවක් පිහිටුවීමට 30 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක වන රේණු ධාරියාල් සමත්ව තිබේ. ඒ, ලොව දිගුම කෙස් කලඹ හිමි ජීවමාන කාන්තාව ලෙසයි.

ප්‍රාන්තයේ හල්ද්වානි නගරයේදී ගිනස් වාර්තා නිලධාරීන් ඉදිරියේ සිදුකළ මිනුම්වලදී ඇගේ කෙස් කලඹේ දිග අඩි 8කුත් අඟල් 11ක් (මීටර් 2.71) ලෙස සටහන් විය.

මෙතෙක් යුක්‍රේනයේ ආලියා නසිරෝවා අඩි 8කුත් අඟල් 5ක දිගකින් තබා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමට රේණු සමත්වූවාය.

තමන් වසර 2015 සිට අඛණ්ඩව වසර 9කට ආසන්න කාලයක් තිස්සේ හිසකෙස් කැපීමෙන් වැළකී සිටි බව රේණු පවසන්නීය.

“ඉන්දියානු සංස්කෘතිය තුළ දිගු කෙස් කලඹක් යනු සුන්දරත්වයේ සහ පරම්පරාගත උරුමයක සංකේතයක්. මගේ පවුලේ අයගේ සහ සංස්කෘතික ආභාෂය මට මේ කැපවීම කරන්න ලොකු ශක්තියක් වුණා” යැයි රේණු ධාරියාල් පවසයි.

තම කෙස් කලඹ නඩත්තු කිරීම වෙනුවෙන් ඇය සතියකට වරක් විශේෂ ස්වාභාවික තෙල් සත්කාර සිදුකරන අතර, හිසකෙස් සේදීම සහ වියළා ගැනීම සඳහා පැය කිහිපයක කාලයක් ගතකරයි.

ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දිගුම කෙස් කලඹ හිමි කාන්තාව වන්නේ චීනයේ ෂී කියුපිංග් ය. ඇගේ කෙස් කලඹේ දිග අඩි 18කුත් අඟල් 5ක් වූ අතර, ඇය මේ වන විට ජීවතුන් අතර නැත.

ඒ අනුව, වර්තමානයේ ජීවත්ව සිටින කාන්තාවන් අතුරින් දිගුම කෙස් කලඹ හිමි ලෝක වාර්තාවේ නිල හිමිකාරිය ලෙස රේණු ධාරියාල් ගිනස් පොතට එක්ව සිටියි.