August 12, 2026

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වූ වේයි හුආශියැං (Wei Huaxiang) සිය ධුරයේ කටයුතු ආරම්භ කරමින්, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇත.

ඊයේ(අගෝස්තු 11) දිවයිනට පැමිණි තානාපතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින් විසින් තමන්ව ශ්‍රී ලංකාවේ පූර්ණ බලලත් තානාපතිවරයා ලෙස පත්කිරීම තමන්ට ලැබුණු ගෞරවයක් ලෙස සැලකූ බව පැවසීය.

සිය පැමිණීම සලකුණු කරමින් ඉදිරිපත් කළ ප්‍රකාශයක, පුරාණ පාරම්පරික සේද මාවත (Silk Road), ඓතිහාසික රබර්-සහල් ගිවිසුම සහ ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road) වැඩසටහන හරහා ගොඩනැගුණු දෙරටේ සබඳතා ඔහු සිහිපත් කළේය. චීන-ශ්‍රී ලංකා ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලාංකික පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම වැනි ව්‍යාපෘති මඟින් ජනතාවට සෘජු ප්‍රතිලාභ හිමිවූ බව ද ඔහු පෙන්වාදුන්නේය.

2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදුකළ සංචාරයන්හිදී ජනාධිපති ෂී ජින්පින් හමුවී පැවැත්වූ සාකච්ඡා දෙරට අතර සබඳතාවලට නව මගපෙන්වීමක් ලබාදුන් බව තානාපතිවරයා මෙහිදී මතක් කර සිටියේය.

චීනය සැමවිටම සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් ලබාදෙන බවත්, දෙරට සංවර්ධන සහකරුවන් සහ එකිනෙකාගේ සැප-දුක බෙදාගන්නා හොඳ මිතුරන් බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම 2027 වසරට දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සහ රබර්-සහල් ගිවිසුමට වසර 75ක් පිරෙන බව පෙන්වාදුන් නව තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන සහ වැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් දෙරටේ සහයෝගීතාව ඉහළ නැංවීමට කැපවන බව සඳහන් කළේය.