August 11, 2026

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වරදකරුවන් වන පුද්ගලයින් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින්, කැකිරාව ප්‍රදේශයේ නව විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් සුළු වරදකරුවන් වෙත ප්‍රජා පාදක විශෝධන ආඥා නියෝග නිකුත් කරනු ලබයි. මෙලෙස යොමු කරනු ලබන පිරිස අතරින් බහුතරයක් මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් වන අතර, ඔවුන් සාමාජීය හා ආර්ථික වශයෙන් නගා සිටුවීමට විශේෂ අවධානයක් යොමුකෙරේ.

කෙසේවෙතත්, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය තරම් මධ්‍යස්ථාන නොමැති අතර, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව කිසිදු නේවාසික හෝ අනේවාසික විශෝධන මධ්‍යස්ථානයක් ද නොපවතී.

එම අඩුව පුරවාලීම සඳහා කැකිරාව ප්‍රදේශයේ හඳුනාගත් හෙක්ටයාර 1.33ක භූමි භාගයක අධිකරණ මඟින් යොමුකරන මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ නියෝගලාභීන් වෙනුවෙන් මෙම නව විශෝධන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇත.

රුපියල් මිලියන 635ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.