August 11, 2026

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සහන් කුමාර අතුකෝරළ නමැති සිසුවා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වෙනත් සිසුවකු මාර්ගයෙන් තමාගෙන් ඉල්ලා සිටි රුපියල් 80,000ක මුදල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමා විශ්වවිද්‍යාල අවසන් විභාගයෙන් අසමත් කර ඇති බවත්, එසේ තිබියදී යළිත් කිසිදු විභාගයක් හෝ නොපවත්වා ප්‍රථමයෙන් අසමත් වූ බවට දැනුම්දී තිබූ සිසුන් පිරිසක් සමත් බවට දන්වා උපාධි ප්‍රදානෝත්සවය ද පවත්වා ඇති බවත්, එම සිසුවා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

මුලින් අසමත් කළ සිසුන් යළි විභාගයක් හෝ නොපවත්වා සමත් කළේ කෙසේද කියා තමන් බලධාරීන්ගෙන් විමසා සිටියත් ඒ සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නොතිබීම අනුව යම්කිසි විභාග අක්‍රමිකතාවන් සිදුවී ඇති බව පෙනෙන්නේ යැයිද එමගින් පෙන්වා දී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලැබූ ව්‍යවසායකත්වය හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2022/2023) හැදෑරූ පැමිණිලිකරු, නීතිඥ දනෝෂා පෙරේරා මගින් එම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.