August 11, 2026

ශ්‍රී ලංකා විශිෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අන්තර්ජාතික මංගල ටෙස්ට් තරගය පැවැති ඩාවින් නගරයේ, වසර 22 කට පසුව නැවතත් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතය.

මාලිංග 2004 ජූලි 01 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩාවින් හි මරාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

ඔහු එම තරගයේදී ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ කඩලු 4 ක් ද ඇතුළුව සමස්ත තරගයේදී කඩලු 6 ක් දවා ගැනීමට සමත් විය.

2004 වසරේ පැවැති එම තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 149 ක ජයක් ලැබූ අතර, එය මේ දක්වා ඩාවින් හි පැවැති අවසාන ටෙස්ට් තරගය ලෙස සටහන් විය.

ඒ අනුව, වසර 22 කට පසුව ලබන බ්‍රහස්පතින්දා (අගෝස්තු 13) ඩාවින්හි මරාරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය එකිනෙකා හමුවනු ඇත.

මෙය 2004 න් පසු ඩාවින් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වන අතර, තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 22 වැනිදා සිට මැකේ හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම මෙය 2003 වසරෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ සිදුකරන පළමු ටෙස්ට් තරග සංචාරය ද වේ.