August 11, 2026

කොලොම්බියාවේ බටහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇති අතර, එරට පුරා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. කඩාවැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.

කොලොම්බියානු භූ විද්‍යා සේවයට අනුව, චොකෝ ප්‍රදේශයේ කිලෝමීටර් 103 ක් (සැතපුම් 64 ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇත.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය සංජෝසේ ඩෙල් පල්මාර් ගම්මානය අසල පිහිටියද, වැඩිම හානියක් සිදුව ඇත්තේ කිලෝමීටර් 55 ක් පමණ දුරින් පිහිටි පෙරෙයිරා නගරයට සහ අවට ප්‍රදේශවලටයි.

පෙරෙයිරා හි පමණක් ගොඩනැගිලි 65 ක් කඩා වැටී ඇති අතර පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මීට අමතරව කාලි, මැනිසාලෙස්, ක්විබ්ඩෝ සහ මැඩලින් යන නගරවලින්ද දැඩි හානි වාර්තා වේ.

භූමිකම්පාව හේතුවෙන් ප්‍රාදේශීය ගුවන්තොටුපළ කිහිපයකට හානි සිදුව ඇති අතර, අගනුවර වන බොගෝටා හි මෙන්ම අසල්වැසි වෙනෙසුවේලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලටද ප්‍රබල කම්පන දැනී ඇත.

ධුරයේ වැඩ භාරගෙන දින කිහිපයකින් මෙම ඛේදනීය සිදුවීමට මුහුණ දුන් කොලොම්බියානු ජනාධිපති අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා රට තුළ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, සහන සහ මුදවාගැනීමේ කටයුතු සඳහා විශේෂ බලතල යොදවා තිබේ.

නිවාස 1,500 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති මෙම අවස්ථාවේදී, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එල් සැල්වදෝරය ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව කොලොම්බියාවට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.