August 5, 2026

තමන්ගේ කැමැත්තට පිටින් යමින් විවාහ, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ තීරණ ගන්නා වැඩිහිටි වයසේ පසුවන චීන තරුණ තරුණියන්, ඔවුන්ගේම දෙමාපියන් විසින් පෞද්ගලික “හැසිරීම් සුධාරණ මධ්‍යස්ථාන” තුළ බලහත්කාරයෙන් සිරකර තැබීමේ ප්‍රවණතාවක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව වාර්තා වේ. මෙමගින් මාපිය බලපෑම, පුද්ගල නිදහස සහ චීන නීතියේ සීමාවන් පිළිබඳ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

The Diplomat සඟරාවේ අලුත්ම වාර්තාවකට අනුව, අතීතයේදී අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට පමණක් භාවිත වූ මෙම මධ්‍යස්ථාන, වර්තමානයේදී වැඩිහිටි තරුණ තරුණියන් පාලනය කිරීමේ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

මාධ්‍යවේදී ලීනා මා විසින් රචිත එම වාර්තාවේ දැක්වෙන්නේ ආදර සබඳතා, රැකියා තේරීම්, පරිගණක ක්‍රීඩා කිරීම සහ නිදාගන්නා වේලාවන් වැනි පෞද්ගලික තීරණ දෙමාපියන්ගේ බලාපොරොත්තු සමග ගැටෙන විට මෙම තරුණ තරුණියන් බලහත්කාරයෙන් මෙවැනි ස්ථාන වෙත යොමු කරන බවයි.

එක් ප්‍රකට සිදුවීමකදී, බීජිං නුවර පියානෝ පන්තියක් පැවැත්වීමට ගිය 21 හැවිරිදි සංගීත ශිෂ්‍යාවකගේ පියා, නැන්දා සහ අදාළ මධ්‍යස්ථානයේ සේවකයින් දෙදෙනෙකු එක්ව ඇයව රැවටීමට ලක් කර ඇත. එම පුද්ගලයින් පොලිස් නිලධාරීන් බව පවසමින් ඇගේ ජංගම දුරකථනයද උදුරාගෙන, කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි හෙනාන් පළාතේ මධ්‍යස්ථානයක් වෙත බලහත්කාරයෙන් ගෙන ගොස් තිබේ. ඇගේ ආදර සබඳතාවට දෙමාපියන් අකමැති වීම සහ ඇය පාලනය කිරීමට අපහසු බව පැවසීම නිසා ඇයට දින 11 ක් එම මධ්‍යස්ථානය තුළ සිරවී සිටීමට සිදු විය.

මෙවැනි මධ්‍යස්ථානයක් නවාතැන් පහසුකම් ද සහිතව මාස 6 ක් සඳහා චීන යුවාන් 26,800 ක් (ඇමරිකානු ඩොලර් 4,000 ක් පමණ) සහ වසරක් සඳහා යුවාන් 36,800 ක් පමණ අය කරන බව වාර්තා වේ.

China Newsweek සඟරාව විසින් ජූලි මාසයේදී කළ විමර්ශනයකදීද මෙවැනි සිදුවීම් රැසක් අනාවරණය වී ඇත. එහිදී 21 හැවිරිදි තරුණයෙකුගේ නිදාගැනීමේ රටාවන් නිවැරදි කිරීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව මෙවැනි ස්ථානයකට යොමු කර තිබූ අතර, 25 හැවිරිදි යුවතියකගේ නිවසට කඩා වැදුණු ඇගේ ඥාතීන් ඇගේ දුරකථනය පැහැරගෙන ඇයව ජියැංසි පළාතේ සිට හුබෙයි හි පිහිටි මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබිණි.

මීට අමතරව Jiemian News කළ තවත් අනාවරණයකට අනුව, වයස අවුරුදු 33 තරම් වැඩිහිටි පුද්ගලයින් පවා නව යොවුන් වියේ පසුවන්නන් සමග මෙවැනි හැසිරීම් සුධාරණ පාසල් තුළ සිරකර තබාගෙන සිටින බව හෙළි වී ඇත.