August 6, 2026

පාකිස්ථානය තුළ මාධ්‍ය නිදහස තවදුරටත් හකුළුවාලමින්, එරට ක්‍රියාත්මක විදේශීය මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් අලුත් සීමාකිරීම් මාලාවක් පැනවීමට එරට රජය පියවර ගෙන තිබේ.

මෙම නව රෙගුලාසිවල ඇති විශේෂත්වය වන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන පාකිස්ථාන ජාතික මාධ්‍යවේදීන්ගේ සහ සහායකයන්ගේ ද ගමන් බිමන් පාලනය කිරීමට රජය තීරණය කර තිබීමයි.

මීට පෙර විදේශීය ජාතික මාධ්‍යවේදීන්ට පමණක් බල පැවැත්වුණු සීමාකිරීම්, දැන් විදේශීය මාධ්‍ය ආයතන වෙනුවෙන් වැඩකරන පාකිස්ථාන ජාතික මාධ්‍යවේදීන්ට, සහායකයන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ද අදාළ වේ.

ඉස්ලාමාබාද්, ලාහෝර් සහ කරච්චි යන ප්‍රධාන නගර තුනෙන් පිටතට ගොස් පුවත් වාර්තාකරණයේ යෙදීමට නම් ඔවුන් රජයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර රජය වෙත ලියාපදිංචි වීම ද අනිවාර්ය කර ඇත.

පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ උද්ගතව ඇති විරෝධතා සහ බටහිර පළාත්වල වර්ධනය වන කැරලිකාරී වාතාවරණය හමුවේ මෙම තීරණය ගෙන තිබුණද, රජය විසින් ඊට නිල හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

මෙම දැඩි තහංචි මගින් ස්වාධීන මාධ්‍ය භාවිතය නැවතෙන අතර, මාධ්‍යවේදීන් තුළ ස්වයං වාරණයක් නිර්මාණය වන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

Human Rights Watch සංවිධානයේ පැට්‍රීෂියා ගොස්මන් පවසන්නේ මෙය මාධ්‍ය නිදහස අවහිර කිරීමේ අතිශය කනගාටුදායක තත්ත්වයක් බවත්, පනවා ඇති සියලු සංචරණ සීමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරගත යුතු බවත්ය.