August 6, 2026

ඉන්දීය මහ බැංකුවේ (RBI) නවතම දත්තවලට අනුව, පසුගිය ජූලි 31 වනදා වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 692.9 දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබේ. මෙය ගතවූ මාස තුනක කාලය තුළ වාර්තා වූ ඉහළම සංචිත අගය ලෙස සටහන් වේ.

එක් සතියක් තුළ පමණක් ඩොලර් බිලියන 10.5 කින් සංචිත ඉහළ ගොස් ඇති අතර, මෙය ජනවාරි අග භාගයෙන් පසු වාර්තා වූ විශාලතම සතිපතා වර්ධනයයි.

ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වෙනස් වීම ඉන්දියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබුණි. එහෙත් මෙලෙස විදේශ සංචිත ශක්තිමත් වීම, ඉන්දීය රුපියලේ අගය කඩාවැටීම වැළැක්වීමට මහ බැංකුවට විශාල පිටිවහලක් වනු ඇත.

මේ ආකාරයෙන් සංචිත ක්ෂණිකව ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ජූනි මාසයේදී ඉන්දීය මහ බැංකුව විසින් ආරම්භ කරන ලද විදේශ විනිමය තැන්පතු වැඩසටහනයි (FCNR). ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන හරහා ජූලි 31 වන විට ඩොලර් බිලියන 36.7 ක මුදලක් රට තුළට ගලා ඒමට සමත්ව ඇත.

‘De-Risk Forex Consultancy’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධවාල් ශා පෙන්වා දෙන්නේ, මෙම තැන්පතු ගලා ඒමේ වේගය අනුව ඉදිරි සති කිහිපය තුළ ඉන්දියාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 700 සීමාව පසු කරනු ඇති බවයි. තවද, මෙම ප්‍රවණතාවය ඉදිරියේදී ඉන්දීය රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බවද ඔහු විශ්වාස කරයි.