August 6, 2026

කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්ගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී සිදුවිය.

පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයට අයත් ආයතනයක් වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම (National Transmission Network Services Provider – NTNSP) ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන පළමු ව්‍යාපෘතිය වන මෙම ව්‍යාපෘතිය සඳහා AIIB බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණයක් ඔස්සේ අරමුදල් සම්පාදනය කෙරෙයි.

කිලෝමීටර් 16ක දුරකින් යුතු මෙම නව භූගත රැහැන් පද්ධතිය ඉදි කිරීමට සමගාමීව උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීම ද සිදු වේ.

වේගයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශයට අවශ්‍ය වන විදුලි ධාරිතාව සපුරාලමින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීමට මෙම භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය මහෝපකාරී වේ.

ජනාකීර්ණ නාගරික ප්‍රදේශ හරහා ඉදිකෙරෙන මෙම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය භූගතව ඉදිකිරීම නිසා ඉදිකිරීම් කාලසීමාවේදී සහ භාවිත කාලසීමාවේදී ජනතාවට සිදුවන පීඩාව අවම වේ. එමෙන්ම නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධාවක් නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියාකිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පූර්ණ ආශිර්වාදය යටතේ සමාරම්භය සනිටුහන් කළ මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, NTNSP ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග, එහි ප්‍රධාන විධායක නිලධාරී නන්දන වෙත්තසිංහ, උපදේශක පුබුදු නිරෝෂණ ඇතුලු නිලධාරීහු රැසක් සම්බන්ධ වූහ.