August 6, 2026

නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙනඑන ලද, පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු විවිධ වර්ගයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ගබඩා කරගෙන සිටි කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2026 අගෝස්තු 05) වැටලීමට ලක්කර ඇත.

නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය නීත්‍යානුකූලව ඖෂධ ආනයනය කිරීමට බලපත්‍රයක් නොමැතිව, මගී ගමන් මලු ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකරන මෙම ඖෂධ තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් අලෙවි කර ඇති බවයි.

මෙම වැටලීමේදී වර්ග 100කට අධික විවිධ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 10ක් (කෝටියක්) ඉක්මවන බව විමර්ශන නිලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව තදින්ම නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.