August 6, 2026

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ දීර්ඝකාලීන පාරිසරික සංරක්ෂණය සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර ඒකකය මගින් කායන්කර්ණී සාගර අභයභූමිය සහ ඊට ආසන්න පාසිකුඩා වෙරළාශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් කොරල්පර සමීක්ෂණයක් පවත්වා ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙම සමීක්ෂණය මගින් රක්ෂිත අභයභූමිය තුළ මෙන්ම ඒ හා සබඳතාවක් දක්වන රක්ෂිත නොවන මුහුදු සීමාවන්හි පිහිටි කොරල්පර පද්ධතීන්හි වත්මන් සෞඛ්‍ය තත්ත්වය ඇගයීමට ලක්කර තිබේ.

එමෙන්ම, කොරල්පර පද්ධතිවලට එල්ල වී ඇති ස්වාභාවික සහ මානව තර්ජන හඳුනාගැනීමටත්, අනාගත සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මගපෙන්වන විද්‍යාත්මක දත්ත රැස්කිරීමටත් මෙහිදී කටයුතු කර ඇත.

වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කොරල් යනු ආරක්ෂිත විශේෂයක් ලෙස නම්කර ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

‘සූසැන්තලී’ (zooxanthellae) ලෙස හඳුන්වන ක්ෂුද්‍රජීවී ඇල්ගී වර්ග සමඟ සහජීවනයෙන් කටයුතු කරන කොරල්, පෘථිවිය මත පවතින සප්‍රමාණවත්ම සහ පොහොසත්ම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වේ.

එමෙන්ම කොරල්පර යනු සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, මසුන් ඇතුළු සාගර ජීවීන්ට වාසස්ථාන, අභිජනන සහ ආහාර ගැනීමේ භූමි සැපයීමට, රළ පහරවල් සහ වෙරළ ඛාදනයෙන් වෙරළ තීරය ආරක්ෂා කිරීමට, ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපාය සුරැකීමට මෙන්ම සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සමීක්ෂණයෙන් ලබාගත් සොයාගැනීම්, අදාළ පාර්ශ්වකරුවන්ගේ ද සහභාගීත්වයෙන් සංරක්ෂණ සහ කළමනාකරණ තීරණ ගැනීම සඳහා මූලික පදනම ලෙස යොදාගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

තවද, පාරිසරික පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරමින් සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යා හැකි තිරසාර සංචාරක ව්‍යාපාරයක අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.