August 6, 2026

ජාතික හැඳුනුම්පත ළඟ නොතිබුණොත් ඔබව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? | මෙන්න නීතිය

මහජනතාව අතර පවතින සාමාන්‍ය මතයක් වන්නේ ප්‍රසිද්ධ ස්ථානයකදී ජාතික හැඳුනුම්පත ළඟ තබාගැනීමට අපොහොසත් වීම අත්අඩංගුවට ගැනීමට හේතුවන වරදක් වන බවයි. කෙසේවෙතත්, පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥ, පොලිස් පරීක්ෂක පී. අමිත් අබේසේකර සිල්වාට අනුව, හැඳුනුම්පතක් නොමැති වීම පමණක් ශ්‍රී ලංකා නීතිය යටතේ ස්වාධීන අපරාධ වරදක් නොවේ.

1968 අංක 32 දරන තැනැත්තන් ලියාපදිංචි කිරීමේ පනත සහ පොලිස් ආඥාපනත යටතේ, අපරාධයක් වැළැක්වීම හෝ පරීක්ෂණයක් පැවැත්වීම වැනි නිල රාජකාරි සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක පුද්ගලයෙකුගේ අනන්‍යතාවය විමසීමට පොලිස් නිලධාරීන්ට නීත්‍යන්තර බලය ඇත. හැඳුනුම්පතක් නොමැති වීම පමණක් වරදක් නොවන අතර, යම් නිශ්චිත කරුණු මත පදනම්ව පොලිස් නිලධාරියකුට යම් පුද්ගලයකු පිළිබඳව දැනටමත් සාධාරණ සැකයක් පවතී නම්, අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම එම සැකය තහවුරු කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට නීත්‍යානුකූල පදනමක් සපයයි.

එසේම, සංජානනීය නොවන (වරෙන්තු බලපත්‍රයක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි) වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ සැකකෙරෙන පුද්ගලයකු තම නම සහ පදිංචි ලිපිනය හෙළිකිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ අභූත/අසත්‍ය තොරතුරු සපයන්නේ නම්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 වැනි වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකුට වරෙන්තු බලපත්‍රයක් නොමැතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගත හැකි බව පොලිසිය පවසයි.

එවැනි අත්අඩංගුවට ගැනීමක එකම අරමුණ අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පමණි. පුද්ගලයාගේ නම සහ පදිංචි ස්ථානය තහවුරු වූ වහාම, එම පුද්ගලයා ඇප මත මුදාහැරීමට පොලිසිය නීතියෙන් බැඳී සිටී.

ශ්‍රී ලංකාවේදී ජාතික හැඳුනුම්පතක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් කිහිපයක් මෙසේය,

1. ශ්‍රී ලංකාවේදී ජාතික හැඳුනුම්පතක් නොමැතිව පිටතට යෑම නීතිවිරෝධීද?

නැත. ප්‍රසිද්ධ ස්ථානයකදී ජාතික හැඳුනුම්පතක් ළඟ තබාගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා නීතිය යටතේ ස්වාධීන අපරාධ වරදක් නොවේ.

2. හැඳුනුම්පතක් නොමැති වීම නිසාම පමණක් පොලිසියට අයෙකු අත්අඩංගුවට ගත හැකිද?

නැත. පුද්ගලයකු සතුව හැඳුනුම්පත නොමැති නිසාම පමණක් අත්අඩංගුවට ගත නොහැක. කෙසේවෙතත්, යම් වරදක් සම්බන්ධයෙන් පොලිසියට දැනටමත් සාධාරණ සැකයක් පවතී නම්, හැඳුනුම්පත නොමැති වීම එම අවස්ථාවේදී අදාළ විය හැක.

3. පුද්ගලයකුගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමට පොලිස් නිලධාරීන්ට හැකියාව තිබේද?

ඔව්. 1968 අංක 32 දරන තැනැත්තන් ලියාපදිංචි කිරීමේ පනත සහ පොලිස් ආඥාපනත යටතේ, අපරාධයක් වැළැක්වීම හෝ පරීක්ෂණයක් පැවැත්වීම වැනි නිල රාජකාරියකදී පුද්ගලයෙකුගේ අනන්‍යතාවය විමසීමට පොලිස් නිලධාරීන්ට බලය ඇත.

4. ජාතික හැඳුනුම්පත නොමැති වීම අත්අඩංගුවට ගැනීමට හේතු විය හැක්කේ කුමන අවස්ථාවලදීද?

නිශ්චිත කරුණු මත පදනම්ව පොලිස් නිලධාරියකුට පුද්ගලයකු පිළිබඳව සාධාරණ සැකයක් පවතී නම්, අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම එම සැකය තවදුරටත් තහවුරු කරන අතර එය අත්අඩංගුවට ගැනීමට නීත්‍යානුකූල හේතුවක් විය හැක.

5. පුද්ගලයකු තම නම සහ ලිපිනය පොලිසියට ලබා දීම අනිවාර්යද?

සංජානනීය නොවන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ සැකකෙරෙන පුද්ගලයකු පොලිසිය ඉල්ලා සිටින විට තම නිවැරදි නම සහ පදිංචි ලිපිනය ලබා දිය යුතුය.

6. නම සහ ලිපිනය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා අයෙකු අත්අඩංගුවට ගත හැකිද?

ඔව්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 වැනි වගන්තිය යටතේ, සංජානනීය නොවන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ සැකකෙරෙන පුද්ගලයකු තම නම සහ ලිපිනය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළහොත් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට හැකියාව ඇත.

7. යම් පුද්ගලයකු පොලිසියට අසත්‍ය අනන්‍යතා තොරතුරු ලබාදුන්නොත් කුමක් සිදුවේද?

සංජානනීය නොවන වරදකට චෝදනා ලැබූ හෝ සැකකෙරෙන අවස්ථාවකදී චේතනාන්විතව අසත්‍ය නමක් හෝ ලිපිනයක් ලබා දුනහොත්, වොරන්ට් බලපත්‍රයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකුට හැකියාව ඇත.

8. අනන්‍යතාවය හෙළිකිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගන්නේ මන්ද?

එවැනි අත්අඩංගුවට ගැනීමක අරමුණ එම පුද්ගලයාගේ නම සහ පදිංචි ස්ථානය තහවුරු කර ගැනීම මිස හැඳුනුම්පත නොමැති වීමට දඬුවම් කිරීම නොවේ.

9. පොලිසිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු කුමක් සිදුවේද?

පුද්ගලයාගේ නම සහ පදිංචි ලිපිනය තහවුරු වූ වහාම, ඔහු ඇප මත මුදා හැරීමට පොලිසිය නීතියෙන් බැඳී සිටී.

10. අනන්‍යතාවය විමසන සෑම අවස්ථාවකදීම පුද්ගලයකු අපරාධයකට සැකපිට සිටින බව අදහස් වේද?

නැත. පොලිස් නිලධාරීන්ට තම නීත්‍යානුකූල නිල රාජකාරි ඉටු කිරීමේදී අනන්‍යතා තොරතුරු ඉල්ලා සිටිය හැක. අත්අඩංගුවට ගැනීමක් නීත්‍යානුකූලද නැද්ද යන්න තීරණය වන්නේ පවතින අවස්ථාව සහ නීත්‍යානුකූල හේතු මතය.

11. ජාතික හැඳුනුම්පතක් ළඟ නොමැති වීම සහ අනන්‍යතාවය හෙළිකිරීම ප්‍රතික්ෂේප කිරීම අතර ප්‍රධාන වෙනස කුමක්ද?

ජාතික හැඳුනුම්පතක් ළඟ නොමැති වීම ස්වාධීන අපරාධ වරදක් නොවේ. නමුත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 වැනි වගන්තියට අදාළ අවස්ථාවලදී නම සහ ලිපිනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හෝ අසත්‍ය තොරතුරු ලබා දීම අනන්‍යතාවය තහවුරු කරගන්නා තෙක් අත්අඩංගුවට ගැනීමට හේතු විය හැක.

12. ගමනක් බිමනක් යන විට ජාතික හැඳුනුම්පත රැගෙන යා යුතුද?

හැඳුනුම්පතක් ළඟ තබාගැනීමට අපොහොසත් වීම නීතිය හමුවේ වරදක් නොවන නමුත්, නීත්‍යානුකූල පරීක්ෂාවකදී පොලිසියට අනන්‍යතාවය තහවුරු කිරීම පහසු කර ගැනීම සඳහා වලංගු හැඳුනුම්පතක් ළඟ තබාගැනීම වඩාත් සුදුසු වේ.

(උපුටාගැනීම – Daily MIrror)