August 5, 2026

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරන ලද ශ්‍රී ලාංකික තරුණයකුගේ මාපියන්, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පිරිවැය දරාගත නොහැකි බැවින් අන්තර්ජාතික සහාය ඉල්ලා තිබේ.

කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නමැති මෙම තරුණයාගේ මාපියන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින්, ඔහුගේ දඬුවම අඩුකර ගැනීමට සහ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.

සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මගින් ඔහු අත්අඩංගුවට ගත් දින සිට බලපැවැත්වෙන පරිදි වසර 5ක සිරදඬුවමක්, සෞදි රියාල් මිලියන 3ක දඩයක්, අදාළ වරද සඳහා භාවිත කළ විද්‍යුත් උපකරණය රාජසන්තක කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම වසා දැමීමට නියෝග කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් ජූලි 31 දිනැතිව නිකුත් කළ ලිපියකට අනුව, තීන්දුව ලැබී දින 30ක් ඇතුළත ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ.

කෙසේවෙතත්, රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබාගත් නීති උපදෙස්වලට අනුව, අභියාචනයක් මගින් දඬුවම අඩුකර ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.

අභියාචනයක් සඳහා නීතිඥ නියෝජනය ලබාගැනීමට සෞදි රියාල් 20,000ක් සහ අභියාචනා පෙත්සම සකස් කර ඉදිරිපත් කිරීමට පමණක් රියාල් 5,000ක් වැයවන බවත්, එම සියලු නීතිමය පිරිවැය විත්තිකරු විසින් දැරිය යුතු බවත් තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

අනෝජන් තම පවුලේ ප්‍රධාන ජීවනෝපාය සපයන්නා බවත්, පවතින දැඩි ආර්ථික අපහසුතාවන් හමුවේ අධිකරණය නියම කළ දඩ මුදල හෝ අභියාචනය සඳහා යන නීතිමය ගාස්තු ගෙවීමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් ඔහුගේ මාපියෝ පවසති.

ඒ අනුව, මානුෂීය පදනම මත මැදිහත් වී ඔහුගේ දඬුවම ලිහිල් කර ගැනීමටත්, නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමටත් කටයුතු කරන ලෙස ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.