August 5, 2026

දේශපාලනඥයන් දෙන ‘ලණු’ ගිල දමා අසරණ නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා සිටියි.

අතීතයේ දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳගත් පොලිස්පතිවරුන්ට සිදු වූ දේ පිළිබඳ මතකයේ තබාගන්නා ලෙසද හෙතෙම අනතුරු අඟවයි.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොලිස් සේවය සඳහා රජයෙන් අසීමිත ප්‍රතිපාදන වෙන්කරන පසුබිමක පොලිස්පතිවරයා දේශපාලනඥයන්ගේ උගුල්වලට හසුනොවිය යුතු බවයි.

“දේශපාලනඥයෝ දෙන ලණු කන්න යන්න එපා. මීට කලින් ඒ විදිහට පක්ෂ පිටිපස්සේ ගිය පොලිස්පතිවරුන්ට වුණේ මොකක්ද කියලා හිතලා බලන්න. අසීමිත අරමුදල් ලැබෙන පොලිස්පතිවරයාව අසරණ කරන්න එපා.” යනුවෙන් ඔහු පැවසීය.

රජය සහන ලබාදෙන බවට පාර්ලිමේන්තුවේදී කතා පැවැත්වුවද පොහොර හිඟය සහ වී සඳහා ස්ථාවර මිලක් නොමැති වීම නිසා ගොවීන් තවමත් වීදී බැස විරෝධතා පවත්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වෙන් කළ රුපියල් බිලියන 100ක මුදලින් ජනතාවට සැබැවින්ම ලැබෙන්නේ කොපමණදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

රාජ්‍ය ආයතන බලගන්වන බවට රජය ප්‍රකාශ කළද, හැකර්වරුන් අරමුදල් සොරාගනිමින් නීතියෙන් බේරී සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

පවතින ආපදා තත්ත්වයේදී ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා පිරිස් කරන කැපවීම අගය කළ මන්ත්‍රීවරයා, පසුගිය ‘දිට්වා’ කුණාටුවෙන් පසු දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අසමත් වූ බව පැවසීය.

අනාරක්ෂිත ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාව නැවත එම ස්ථානවලට යැවීම නිසා ඔවුන් නැවතත් ආපදාවට ලක්ව ඇති බවත්, ඊට වගකියන්නේ කවුරුන්ද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.

ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අපොස උසස් පෙළ සිසුන්ගේ ගැටලුවලට වහා සහන දිය යුතු බව සඳහන් කළ ඔහු, ආපදාවට ලක්වූවන්ට ඉඩම් වෙන්කිරීමේදී විහාරස්ථානවලට චෝදනා නොකර ආගමික නායකයන් සමඟ සාකච්ඡා කළ යුතු බව පැවසීය.

අස්වැන්න නෙළන කාලයට සහල් ආනයනය කිරීම සහ වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන් කළුකඩවලින් වැඩි මිලට පොහොර ගැනීමට සිදුව ඇති බවත්, ගොවි විරෝධතා දේශපාලන පෙළඹවීම් ලෙස බැහැර නොකර වහා විසඳුම් ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.