July 19, 2026

තෝරාගත් ජ්‍යෙෂ්ඨ සහ වෘත්තීය මට්ටමේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වසර දෙකක සේවා දිගුවක් ලබාදීමටත්, ඉන් පසුවද තවදුරටත් සේවා කාලය දීර්ඝ කිරීමේ අවස්ථාව ලබාදීමටත් රජය තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් Sunday Times පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

මෑත වසරවලදී දැඩි සේවක හිඟයකට මුහුණ දී ඇති වෛද්‍ය විශේෂඥයන්, විද්‍යාත්මක සේවාවන් සහ විශේෂිත සේවාවන්වල නියුතු වූවන් මේ යටතේ ආවරණය වන බව එම නිලධාරියා පැවසීය.

රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයන් රඳවා තබාගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. මෙම සේවා දිගුව අනිවාර්ය නොවන අතර, සේවයේ රැඳී සිටීමට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා ඉල්ලීම් කළ හැකිය.

“සාමාන්‍ය සේවාවන් සඳහා එක්වීමට බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටියත්, විශේෂිත සේවාවන්, විශේෂයෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවන විට අයදුම් කරන්නේ ඉතා සුළු පිරිසක්. මේ හේතුවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි වැදගත් රජයේ දෙපාර්තමේන්තුවල දැඩි සේවක හිඟයක් ඇති වී තිබෙනවා වගේම අත්‍යවශ්‍ය කටයුතු ප්‍රමාද වෙලත් තියෙනවා” යැයි ඔහු පැවසීය.

මෑතකදී එම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 100ක් පිරවීම සඳහා අයැදුම්පත් කැඳවූ අවස්ථාවේදී ලැබී තිබුණේ අයදුම්පත් 70ක් පමණි.

නව බඳවාගැනීම්වලට වඩා විශ්‍රාම යෑම් ඉහළ මට්ටමක පවතින බැවින් බොහෝ ආයතනවල සේවක හිඟයක් සහ පසුබෑමක් ඇති වී තිබෙන බවත්, එමඟින් රජයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

දැනට රාජ්‍ය අංශයේ පුරප්පාඩු 120,000ක් පවතින අතර රජය ඒවාද පිරවීමට සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේද පුරප්පාඩු 40,000ක් පවතින බැවින් එහිද දැඩි සේවක හිඟයක් පවතින බව නිලධාරියා පැවසීය.

“පොලිස් සේවයේ නියුතු අයටත් මූලික වශයෙන් වසර දෙකක සේවා දිගුවක් ලබා දීමට රජය කටයුතු කරනවා” යැයි ඔහු පැවසීය.

රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා සේවා දිගු ලබාදීමට රජය පියවර ගන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමටද රජය සලකා බලමින් සිටින වටපිටාවක වන අතර, එම තීරණයට බොහෝ පාර්ශ්වයන් විරෝධය පළකිරීම නිසා එය මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇත.