July 18, 2026

රුපියල් මිලියන 10 කට වඩා අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය සිය ශරීරය තුළ සඟවාගෙන මෙරටට ජාවාරම් කිරීමට උත්සාහ කළ 54 හැවිරිදි ඇන්ගෝලා ජාතික කාන්තාවක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා සහ කටාර්හි දෝහා හරහා කටාර් එයාවේස් ගුවන් සේවයට අයත් QR654 දරන ගුවන් යානයෙන් ජූලි 17 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදී රෝද පුටුවක් භාවිත කර ඇති අතර, එය රේගු නිලධාරීන්ගේ සැකයට හා අවධානයට ලක්ව තිබේ.

ප්‍රශ්න කිරීම් හමුවේ එම කාන්තාව සිය ශරීරය තුළ සඟවා තිබූ කොකේන් අඩංගු කැප්සියුල 14 ක් ස්වේච්ඡාවෙන්ම රේගු නිලධාරීන් වෙත භාර දී ඇත. තවද, තමන් තවත් මත්ද්‍රව්‍ය කැප්සියුල කිහිපයක් ගිල දමා ඇති බවද ඇය රේගු විමර්ශකයන් ඉදිරියේ පිළිගෙන තිබේ.

රේගු නිලධාරීන් පවසන්නේ දැනට සොයාගෙන ඇති කැප්සියුල සන්තකයේ කොකේන් ග්‍රෑම් 237 ක් අඩංගු වූ බවත්, එහි ඇස්තමේන්තුගත වීථි වටිනාකම රුපියල් මිලියන 10 කට වඩා වැඩි බවත්ය. මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.