July 18, 2026

චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ දින සිදුකළ කැනීම්වලදී අලුතින් සැකිලි අවශේෂ 11ක් හඳුනාගෙන තිබේ. ඒ අතර ඇඟිලි අස්ථියක තවමත් රැඳී පවතින තඹ මුදුවක්ද සොයාගෙන ඇත.

චෙම්මනි සමූහ මිනීවළේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු දින 56ක් පුරා සිදුකිරීමට අධිකරණය අවසර ලබා දී තිබිණි. ඒ අනුව, එම අදියරේ 35 වැනි දිනයට අදාළ කැනීම් කටයුතු ඊයේ (සිකුරාදා) දින සිදුකෙරිණි.

එහිදී සිදුකළ කැනීම්වලදී අලුතින් සැකිලි 11ක් හඳුනාගත් අතර, මීට පෙර හඳුනාගෙන තිබූ සැකිලි අතුරින් 7ක් සම්පූර්ණයෙන්ම කණාදමා ගොඩගැනීමට කටයුතු කෙරිණි.

ඊයේ දින හඳුනාගත් අස්ථි කොටස් අතර හානියට පත් මුදුවක්, ඇඟිලි අස්ථියක තවමත් රැඳී ඇති තඹ මුදුවක් සහ එකට තිබී හමුවූ සැකිලි අවශේෂ පොකුරු දෙකක් ද විය.

චෙම්මනි සමූහ මිනීවළ විමර්ශනයේ පළමු, දෙවැනි සහ තෙවැනි අදියර පුරා මේ වන විට සමස්තයක් ලෙස දින 89ක කැනීම් කටයුතු සිදු කර ඇත. එම කාලසීමාව තුළ සැකිලි අවශේෂ 431ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 423ක්ම සම්පූර්ණයෙන්ම ගොඩදමා ගොඩගෙන තිබේ.