
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජගිරියේ රිය අනතුරෙන් පසු හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ දැනුම්දීම අනුව රියැදුරු තුසිත බොරැල්ල පොලීසියට ඉදිරිපත් කළ බව ඇමැතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස සේවය කළ ජාතික හෙළ උරුමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ හර්ෂ බණ්ඩාර තිලකසිරි යන අය කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් කියාසිටියේය.
අනතුර සිදු වූ අවස්ථාවේ තමා සහ ඇමැතිවරයා අතර සිදු වූ බව කියන දුරකතන සංවාදයක් පිළිබඳව සාක්ෂිකරු විසින් අනාවරණය කරන ලදී.
රිය අනතුරින් පසු හිටපු ඇමැතිවරයා ගමන්ගත් මෝටර්රථය හඹාගිය යතුරුපැදියේ පසුපස ගමන් ගත් තැනැත්තා විදේශගතව සිටින බැවින් ඔහුගේ සාක්ෂිය මාර්ගගත ක්‍රමයට ගැනීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස නඩු විභාගය ආරම්භයේදී පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය දැක්වූ විත්ති පාර්ශ්වයේ නීතිඥවරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 276 වන වගන්තියේ ‘T’ අනු වගන්තිය ප්‍රකාරව තාක්ෂණික උපකරණ භාවිතයෙන් සාක්ෂි සටහන් කිරීමට අවශ්‍ය රෙගුලාසි අගවිනිසුරුවරයා මෙතෙක් නිකුත් කර නොමැති බව පෙන්වාදුන්හ.
ඒ අනුව විදේශයක සිට සාක්ෂි ගැනීම කළ නොහැකි බවද නීතිඥවරු පෙන්වාදුන්හ.
ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයද පැමිණිල්ල විසින් පෙන්වා දෙන ලදී.
එම කරුණු දැක්වීම පිළිගත් අධිකරණය ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටි මෙරට තානාපති කාර්යාලයේ සිට මාර්ගගත ක්‍රමයට පැමිණිල්ලේ 2 වැනි සාක්ෂිකරු වන සිද්දික් මොහොමඩ් සුෆායිස් යන අයගේ සාක්ෂිය සටහන්කර ගැනීමට සිතාසි නිකුත් කළේය.
අනතුරුව පැමිණිල්ලේ 3 වැනි සාක්ෂිකරු වන හර්ෂ බණ්ඩාර තිලකසිරි යන අයගේ සාක්ෂිය විමසන ලදි. ඔහු ඇමැතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස සේවය කර ඇති අතර ඇමැතිවරයා, ඔහු හා රියැදුරු යන තැනැත්තන් පමණක් ඇමැති නිල නිවෙසේ පදිංචිව සිටි බව සාක්ෂිකරු පැවසීය.
අනතුර සිදුවූ බව කියන 2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ සාක්ෂිකරු සිටි ස්ථානය සහ ඔහු භාවිත කළ වාහනය පිළිබඳවද පැමිණිල්ල විසින් සාක්ෂි විමසන ලදි.
සිදුවීම වූදා රාත්‍රියේ තමාගේ පෙම්වතිය වන ලී නමැති විදේශීය කාන්තාවක හා රියැදුරු අල්විස් සමඟ බොරලැස්ගමුව ඇවිදින මංතීරුවේ ශාරීරික ව්‍යායාම කරමින් සිටි බව සාක්ෂිකරු ඒ අනුව පැවසීය.
මංතීරුවේ ඇවිදිමින් සිටිනවිට රියැදුරු අල්විස්ට විත්තිකාර චම්පික රණවක දුරකතන ඇමතුමක් දී තමාගේ අතින් අනතුරක් සිදුව ඇති බවත්, ඒ නිසා බොරැල්ල පොලීසියට ඉදිරිපත් වන ලෙස දැනුම් දුන් බවත් සඳහන් කළේය.
ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට තමා ඇමැතිවරයාට දුරකතනයෙන් කතාකළ බවත්, එවිට “ඇක්සිඩන්ට් එකක් වුණා, පොලීසියට රියැදුරකු යවන්න” යැයි ඇමැතිවරයා තමාට පැවසූ බවත් සාක්ෂිකරු අනාවරණය කළේය.
බොරලැස්ගමුවේ සිට බොරැල්ලට රියැදුරකු යැවීමේදී කාලයක් ගතවන නිසා අල්විස් වෙනුවට අනෙක් රියැදුරු වන තුසිත යැවූ බව කියා සිටියේය.
තමා පසුව පෙරළා නිල නිවෙසට පැමිණි විට හිටපු ඇමැතිවරයා එහි සිටි බව දුටු බවත් ඔහු යම් චකිතයකින් සිටි බවත් පැවසීය.
තමා ඔහුට සත්‍යය තත්ත්වය අනාවරණය කළා නම් හොඳයි නේද යනුවෙන් පැවසූ බවත් විත්තිකරු එයට පිළිතුරු නොදුන් බව දන්වා සිටියේය.
අනතුරින් පසු තුවාල ලැබූ සංදීප් සම්පත් යන අය බැලීමට කිහිපවරක් රෝහලට ගිය බවද ඔහු කියාසිටියේය.
හිටපු ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කාරුණිකව සලකා නොබැලූ නිසා තමා සත්‍ය හෙළිකිරීමට තීරණය කළ බව සාක්ෂිකරු පැවසීය.
2016 සිදු වූ මෙම අනතුර පිළිබඳව 2019 වසරේදී පොලිස්පතිවරයා හමුවී ප්‍රකාශයක් ලබාදීමට හේතුව විත්තිය විසින් හරස් ප්‍රශ්න ලෙස විමසීය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ විත්තිකරු එවකට රටේ සිටි ප්‍රබල චරිතයක් වූ බැවින් තමා තුළ තිබූ බිය නිසා ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් නොවූ බවයි.
2017 සහ 2018 වර්ෂවල තමා විදේශගතව සිටි බවත්, යළි පැමිණි පසු පොලිස්පතිවරයා හමුවූ බවත් ඔහු පැවසීය.
සාක්ෂිකරු මුලින් දුන් ප්‍රකාශවල මෙම බොරලැස්ගමුව සිදුවීම පිළිබඳව සඳහන් කර නොමැති බව පෙන්වා දෙමින් විත්ති පාර්ශ්වය ඔහුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසන ලදි.
නඩු විභාගය ජූලි 8 දිනට කල් තැබිණි.
2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල ආසන්නයේදී WP KT-7545 දරන සුඛෝපභෝගී රථයෙන් සන්දීප් සම්පත් නමැති තරුණයා අනතුරට පත්කිරීම සහ එම තොරතුරු වසන්කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට අමතරව, එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ රියැදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන අය මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart