July 1, 2026

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කොල්ලන්කනත්ත ප්‍රදේශයේ වෙරළට ගසාගෙන ආ මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු පසුගිය සඳුදා (30) සවස් කාලයේදී සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනුයුක්ත නිලධාරීන් ප්‍රකාශ කළේ, සාමාන්‍ය මුරසංචාරක කටයුත්තක් අතරතුරදී මෙම සිරුර සොයාගත් බවයි.

මූලික නිරීක්ෂණවලට අනුව, ධීවර දැලකට හසුවීමෙන් සිදුවූ තුවාලවලට සමාන ලකුණු සිරුරේ දක්නට ලැබෙන බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එළුවන්කුලම වනජීවී අභයභූමිය වෙත දැනුම් දී ඇති බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

මෙම සිදුවීමත් සමඟ කලාපය තුළ සිදුවන ධීවර කටයුතු මඟින් සාගර වනජීවීන්ට සිදුවන බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලක් මතුව තිබේ.