June 30, 2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 18 වනදා කැඳවන ලෙස බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

දයාසිරි ජයසේකර සිය අභියාචනය මඟින් පෙන්වාදෙන්නේ, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තමන් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක තීන්දුව හා සෘජුවම සම්බන්ධ වන බැවින්, ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නොහැකි බව පවසමින් කොළඹ දිසා අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බව ඔහු කියාසිටියි.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර විසින් මෙම අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට අවසර දෙන ලෙසත්, ඊට බාධා පැමිණවීම වළක්වමින් එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම අභියාචනය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.