June 30, 2026

කොළඹ අගරදගුරු මැදුර පරිශ්‍රයේ පිහිටි ගොඩනැඟිල්ලක ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි බොරැල්ල පොලිසිය සැක පළකරයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, ගින්න හටගෙන ඇත්තේ අගරදගුරු මැදුරේ ගබඩා කාමරයක් ලෙස භාවිත කළ ප්‍රදේශයකය.

ගින්න හේතුවෙන් එම ස්ථානයට බරපතළ හානි සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, ගින්න හටගත් අවස්ථාවේදීම වහා ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවන හමුදාව එම ස්ථානයට පැමිණ දැඩි වෙහෙසක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇති අතර, බොරැල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.