June 29, 2026

කිලිනොච්චිය පොලිස් බලප්‍රදේශය තුළ ඉකුත් දින දෙකක කාලය පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකදී ටිපර් රථ 20ක් සහ යතුරුපැදි 30ක් පොලිස් භාරයට ගැනීමට කිලිනොච්චිය පොලිසිය පියවර ගෙන ඇත.

අන්තරාදායක ලෙස රථවාහන ධාවනය කිරීම සහ මාර්ග නීති උල්ලංඝනය කරන්නන් ඉලක්ක කර ගනිමින් කිලිනොච්චිය පොලිස් රථවාහන අංශය විසින් ඉකුත් 27 වැනිදා සහ ඊයේ (28 වැනිදා) මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබිණි.

වලංගු ලේඛන සන්තකයේ නොමැතිවීම, බලපත්‍ර කල්ඉකුත් වී තිබීම, අංක තහඩු නොමැතිව ධාවනය කිරීම සහ නොසැලකිලිමත් ලෙස රථවාහන ධාවනය කිරීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් මෙම වාහන පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

මාර්ග නීති උල්ලංඝනය කරමින් මහජනතාවට පීඩාකාරී වන අයුරින් රථවාහන පදවන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදී ද මෙවැනි විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් භාරයට ගත් වාහන සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.