June 29, 2026

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී ඉකුත් 27 වැනිදා සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපළ ඒකකය විසින් සිදුකළ බුද්ධි තොරතුරු මත පදනම් වූ වැටළීම් මාලාවකදී හෂීස් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන, දිවයිනට පැමිණෙන මගීන් පිළිබඳව ලැබුණු තොරතුරු මත නිලධාරීන් විසින් සිදුකළ ඉලක්කගත පරීක්ෂාවන්හිදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් කිහිපදෙනකු සන්තකයේ තිබී සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එහිදී එක් සැකකරුවකු සන්තකයේ තිබී හෂීස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 8ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 826ක් සොයාගෙන තිබේ.

අනෙක් සැකකරු සන්තකයේ හෂීස් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 310ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 952ක් තිබී ඇත.

සෙසු සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 968ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ත් 34ත් අතර පසුවන හෙට්ටිමුල්ල, වැල්ලම්පිටිය සහ දනෝවිට යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.