June 29, 2026

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ගවඝාතකාගාර වසාතැබීමට නියමිතව තිබියදී, හෝටල් සහ ආපනශාලා වෙත හරක් මස් ලෙස අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී ලෙස මීහරකුන් මරා මස්කරමින් සිටි ස්ථානයක් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමත්ව ඇත.

මීහරකුන් මරා මස්කර හරක් මස් ලෙස අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28 වැනිදා) උතුරු මහාබාගේ ප්‍රදේශයේ පිහිටි ගවඝාතකාගාරයක් මෙලෙස වටළා ඇත.

පොලිසිය සිදුකළ වැටලීමේදී මීහරකුන් 13 දෙනකු සහ එක් වසුපැටවකු ඒ වනවිටත් ඝාතනය කර තිබූ බව අනාවරණය වී ඇත.

එමෙන්ම මරාදැමීම සඳහා එම ස්ථානයට රැගෙන විත් සිටි එක් මීහරකකු බේරා ගැනීමටද පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.

ඝාතනය කරන ලද සතුන්ගේ හිස්, කටු සහ අනෙකුත් කොටස් ඉවත් කිරීමෙන් පසුව සොයාගත් මස්වල බර කිලෝග්‍රෑම් 5,000කට (ටොන් 5ක්) අධික බව පොලිසිය පවසයි.

වැටළීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, අද (29 වැනිදා) පොසොන් පෝය නිමිත්තෙන් ගවඝාතකාගාර වසා තැබෙන බැවින් මෙලෙස මීහරකුන් ඝාතනය කළ බවත්, එම මස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝටල් සහ ආපනශාලා වෙත හරක් මස් ලෙස බෙදාහැරීමට සූදානම් කර තිබූ බවත් ඔවුන් පිළිගෙන තිබේ.