June 27, 2026

ප්‍රවීණ දෙමළ සිනමා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු සහ තිරකතා රචකයෙකු වූ කේ. භාග්‍යරාජ් චෙන්නායි හිදී ඇති වූ හෘදයාබාධයකින් අද (සෙනසුරාදා) අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 73 වැනි වියෙහි පසුවිය.

මධ්‍යම පාන්තික පවුල් පසුබිම් කරගත් සිනමාපට, විශිෂ්ට කතා තේමාවන් සහ සිනමා තිර රචනය පිළිබඳ දෙමළ සිනමාවේ සලකුණක් තැබූ ඔහුගේ නික්ම යාම, දෙමළ සිනමා ක්ෂේත්‍රයේ එක් යුගයක අවසානය සලකුණු කරන්නකි.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වේ.

මෙම අසහාය සිනමාකරුවා මියයාමට දින කිහිපයකට පෙර ද, ප්‍රවීණ නිළි සහ දේශපාලනඥ ඛුෂ්බු සුන්දර්ගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා ගෝවා බලා ගොස් තිබූ අතර, මෑතක් වනතුරුම ඔහු පොදු කටයුතුවල ක්‍රියාකාරීව නිරත විය.

ඔහුගේ දීර්ඝ සිනමා ජීවිතය තුළ චිත්‍රපට 25කට වඩා අධ්‍යක්ෂණය කර ඇති අතර, චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ඇත.

පොදු සමාජයට සමීප චරිත නිර්මාණය, හැඟීම්බර සිනමා ප්‍රකාශනය සහ ආකර්ෂණීය කතා වින්‍යාසයන් නිසාම ඔහු දෙමළ සිනමාවේ බිහිවූ විශිෂ්ටතම තිරකතා රචකයෙකු ලෙස ඇගයීමට ලක්විය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද Mundhanai Mudichu, Andha 7 Naatkal සහ Darling වැනි චිත්‍රපට අදටත් දෙමළ සිනමාවේ සම්භාව්‍ය සිනමාපට ලෙස සලකනු ලබයි.

1986 වසරේදී සුපිරි නළු අමිතාබ් බච්චන් ද්විත්ව භූමිකාවන් නිරූපණය කළ, ජයා ප්‍රදා, ශ්‍රීදේවි සහ අනුපම් කේර් රංගනයෙන් දායක වූ සුප්‍රකට බොලිවුඩ් සිනමාපටයක් වන Aakhree Raasta චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔහු හින්දි සිනමාවට ද පිවිසියේය.

එම ‘පළිගැනීමේ’ තේමාව රැගත් සිනමාපටය එකල දශකයේ කැපීපෙනෙන හින්දි චිත්‍රපටයක් බවට පත් වූ අතර, එය භාග්‍යරාජ් සතු විශිෂ්ට කතා කීමේ හැකියාව දෙමළ සිනමාවෙන් ඔබ්බට ද ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය.