June 27, 2026

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරාකෑ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන් දෙදෙනකුට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක (ලක්ෂ දෙකක) සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.

සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල් නියම කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දඹුල්ල ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටළීම් දෙකකින් පසු මෙම නඩු පවරා තිබේ..

පළමු වැටළීමේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි තොග වෙළඳසැලක් වැටළූ අවස්ථාවේදී, රජයේ ගැසට් නිවේදනයට අනුව කිලෝග්‍රෑම් එකක් රුපියල් 255ක් විය යුතු ආනයනික කීරි සම්බා සහල්, රුපියල් 261 බැගින් වැඩි මිලට අලෙවි කරමින් සිටියදී නිලධාරීන් භාරයට ගෙන ඇත.

දෙවනුව, දඹුල්ල ප්‍රදේශයේම පිහිටි සිල්ලර වෙළඳසැලක සිදුකළ වැටලීමේදී, රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 360 වැනි අධික මිලකට අලෙවි කරමින් සිටියදී සොයාගෙන තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වරද පිළිගත් ව්‍යාපාරික ආයතන දෙකටම රුපියල් 100,000 බැගින් වූ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කළේය.