June 27, 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පැනයෑයාමට උපකාර කිරීම සඳහා වෙනත් පුද්ගලයකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස්කිරීමේ චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා කැබිනට් අංශයට අනුයුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම සැකකරු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස මීට පෙර සේවය කළ කාලය තුළදී මෙම වරද සිදුකර ඇති බව වාර්තා වේ.

ඔහු සිය තනතුර අවභාවිත කරමින් මෙම ව්‍යාජ ලේඛන සකස් කිරීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීම්) රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටළීම සිදුකර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.