June 6, 2026

රුසියාවෙන් බලශක්ති ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාවට වොෂින්ටනයෙන් (ඇමරිකාවෙන්) අඛණ්ඩව බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක, මොස්කව් සහ නව දිල්ලිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ.

ඔහු මෙම මෙම සබඳතාව හැඳින්වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සහෝදරත්වයෙන්” සහ “පරම විශ්වාසයෙන්” යුත් එකක් ලෙසයි.

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමින් රුසියානු නායකයා ඉන්දියාවේ මානව සම්පත සහ තාක්ෂණික කුසලතාවන් බෙහෙවින් අගය කළ අතර, විශේෂයෙන්ම පරිගණක කේතකරණය (Coding) සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉන්දියාව සතු විශේෂඥ දැනුම කැපී පෙනෙන බව පෙන්වා දුන්නේය.

“ඉන්දියානු ජනතාව කෙතරම් දක්ෂද සහ ඔවුන් කෙතරම් හොඳ අධ්‍යාපනයක් ලබා ඇත්දැයි අප දන්නවා. විශේෂයෙන්ම කේතකරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකදී ගෝලීය පිළිගැනීමට ලක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දියානුවන් සතුයි,” යනුවෙන් පුටින් ප්‍රකාශ කළේය.

බටහිර ආසියාවේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රවාහන කටයුතු ඇණහිටීමේ බිය නිසා ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත.

මෙවැනි වටපිටාවක රුසියා – ඉන්දු උපායමාර්ගික සන්ධානයේ වැදගත්කම අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, මෙම ද්විපාර්ශ්වික ඒකාබද්ධතාවය තුළින් දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්වී ඇති බව සඳහන් කළේය.

“හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන දේ නිසා පෞද්ගලික වාහන භාවිත නොකරන ලෙසත්, දිගු ගමන් බිමන් යාමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටීමට අග්‍රාමාත්‍ය මෝදිට ඇතැම් සීමාවන් පැනවීමට සිදු වුණා. මම විශ්වාස කරන්නේ අපේ සමාගම් මෙන්ම ඉන්දියානු පාර්ශවයන් ද සමීප සහයෝගීතාවයේ මාවත තෝරාගැනීමෙන් නිවැරදි තීරණයක් ගත් බවයි. අද වන විට අප ඉන්දියානු වෙළෙඳපොළට සහ සමස්ත ආසියාවටම සපයන බලශක්ති ප්‍රමාණය ඉහළ නංවමින් උපකාරී හස්තයක් දිගු කර තිබෙනවා. එමෙන්ම අපගේ තාක්ෂණික විසඳුම් ද ඔවුන් සමඟ අඛණ්ඩව බෙදා හදා ගන්නවා,” යැයි පුටින් සඳහන් කළේය.

බාහිරින් එල්ල වන රාජ්‍යතාන්ත්‍රික බලපෑම් පිළිබඳව දැඩි ප්‍රකාශයක් කරමින් පුටින් කියා සිටියේ, නව දිල්ලිය සමඟ මොස්කව් පවත්වන සබඳතා ලෝකයේ වෙනස් වන දේශපාලන ප්‍රවණතාවලින් සම්පූර්ණයෙන්ම බැහැරව පවතින බවයි. එමෙන්ම ක්‍රෙම්ලිනය ඉන්දියාවට ලබා දී ඇති ද්විපාර්ශ්වික පොරොන්දු සැමවිටම නොවෙනස්ව ඉටු කරන බව ද ඔහු යළිත් අවධාරණය කළේය.