May 20, 2026

ජර්මන් ජාතික විද්‍යාඥයින් මුළා කරමින්, චීන බුද්ධි අංශයක් වෙනුවෙන් යුධමය වශයෙන් වැදගත් වන අභ්‍යවකාශ සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික තොරතුරු සෙවීමේ චෝදනාව මත අඹුසැමියන් යුවළක් ජර්මානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Xuejun C. සහ Hua S. ලෙස අර්ධ වශයෙන් නම් කර ඇති ජර්මන් ජාතික මෙම අඹුසැමියන් යුවළ දකුණුදිග මියුනිච් නගරයේදී අත්අඩංගුවට ගත් බව ෆෙඩරල් අභිචෝදක කාර්යාලය ප්‍රකාශ කළ අතර, ඔවුන් චීන බුද්ධි අංශයක් වෙනුවෙන් වැඩ කරන බවට චෝදනා කළේය.

මේ වන විට මියුනිච් හි පිහිටි ඔවුන්ගේ නිවාස සහ සේවා ස්ථාන පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.

මෙම යුවළ ජර්මානු විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල විද්‍යාඥයින් රැසක් සමඟ, විශේෂයෙන්ම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල මහාචාර්යවරුන් සමඟ සබඳතා ගොඩනඟා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම සබඳතා පැවැත්වීම සඳහා ඔවුන් භාෂා පරිවර්තකයන් හෝ මෝටර් රථ නිෂ්පාදන සමාගමක සේවකයින් ලෙස පෙනී සිට ඇති බව විශ්වාස කෙරේ.

එහිදී ඇතැම් විද්‍යාඥයින් සිවිල් ජනතාව වෙනුවෙන් ගෙවීම් සහිත දේශන පැවැත්වීමේ මුවාවෙන් චීනයට ගෙන්වා ගැනීමට පොළඹවා ඇති නමුත්, ඇත්ත වශයෙන්ම ඔවුන්ට දේශන පැවැත්වීමට සිදු වී ඇත්තේ චීන රජයට අයත් අවි නිෂ්පාදන සමාගම්වල සේවකයින්ට බව අභිචෝදකයෝ පැවසූහ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අමතරව, බර්ලින්, මියුනිච් ඇතුළු රට පුරා තවත් ස්ථාන කිහිපයක කිසිදු වරදකට සැක නොකරන, නමුත් සාක්ෂිකරුවන් විය හැකි පුද්ගලයින් 10 දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග” ගනිමින් සිටින බව අභිචෝදකයෝ පැවසූහ.

මෑතකදී ජර්මනිය තුළ චීනයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ඔත්තු බැලීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.

පසුගිය පෙබරවාරි මාසයේදී, ඇමරිකානු හමුදා කඳවුරක සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී චීනයට රහසිගත තොරතුරු ලබා දීමට උත්සාහ කිරීමේ චෝදනාව මත බටහිර කොබ්ලෙන්ස් නුවර අධිකරණයක් මගින් ඇමරිකානු පුරවැසියෙකු සිරගත කරනු ලැබීය.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේදී, අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මැක්සිමිලියන් ක්‍රාගේ හිටපු සහායකයෙකු, ඔහු යටතේ සේවය කරන අතරතුර චීන බුද්ධි අංශයක නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමේ වරදකරු කරමින් අධිකරණය විසින් වසර හතරකට වැඩි කාලයකට සිරගත කරනු ලැබීය.