May 20, 2026

ප්‍රමාද වෙමින් පැවති වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් ආරම්භ වන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය සඳහන් කරයි.

ඔහු නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ කොන්ත්‍රාත්තු ප්‍රදානයේ දී මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් ලබා දී ඇති බවයි.

ඒ අනුව සියලුම විද්‍යාත්මක නිර්දේශ, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ (SHLPC) ස්වාධීන තීරණ මත South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත වසර පහක (05) කාලයක් සඳහා මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බව ඔහු සඳහන් කරයි.

2026 ජනවාරි 20 වැනිදා එම සමාගමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ බවත් 2026 මාර්තු 10 වැනිදා ඒ සඳහා නිල වශයෙන් ගිවිසුම්ගත වූ බවත් වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමේ නීතිමය කොන්දේසිය වන්නේ ගිවිසුම්ගත වී මාස තුනක් (03) ඇතුළත එම කටයුතු ආරම්භ කිරීම බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාරව 2026 ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම මෙරට වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ වන බවත් එම කටයුතු නියමිත දිනට ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ සමාගම විසින් මේ වන විටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකර එම කටයුතු අවසන් අදියරේ පසුවන බවත් වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.