May 12, 2026

ඉරානය සමඟ පවතින සටන් විරාමය අසීරු තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානය සම්බන්ධ සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ, ගැටුම අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවක් ටෙහෙරානය විසින් ප්‍රතික්ෂේප කර, ඇමරිකානු ජනාධිපතිවරයා “කුණු ගොඩක්” ලෙස හැඳින්වූ ඉල්ලීම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබීම හේතුවෙනි.

ඇමරිකාවේ මිත්‍ර පාර්ශ්වයක් වන ඊශ්‍රායලය, ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සටන්කාමීන් සමඟ සටන් වදින ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු වල යුද්ධය අවසන් කරන ලෙස ඉරානය ඉල්ලා ඇත.

එමෙන්ම ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තම ස්වෛරීභාවය අවධාරණය කළ අතර, යුද හානි සඳහා වන්දි ගෙවන ලෙසත්, ඇමරිකානු නාවික අවහිර කිරීම් නතර කරන ලෙසත් අනෙකුත් කොන්දේසි ලෙස ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානයේ මෙම ප්‍රතිචාරය අප්‍රේල් 7 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයේ පැවැත්මට තර්ජනයක් බවයි.

සටන් විරාමය අවසන් කරන බවට නැවත නැවතත් තර්ජනය කර ඇති ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ, “ඔවුන් අපට එවපු ඒ කුණු ගොඩ කියෙව්වට පස්සේ, මම කියන්නේ දැනට පවතින්නේ ඉතාම දුර්වල තත්ත්වයක් කියලයි. මම ඒක කියවලා ඉවර කළේවත් නැහැ,” යනුවෙනි.