April 1, 2026

බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

විදේශ බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ නිරීක්ෂණ මෙහෙයුමකදී අදාළ දේශීය බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පැවසීය.

අද (01) අලුයම නෞකාව දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ අතර, එහිදී කළ සවිස්තරාත්මක පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය තොග අඩංගු පැකේජ 298ක් සොයා ගැනිණි.

නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ යාත්‍රාව ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් බවයි.

එහි සිටි සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන මෙහෙයුමේදී භාවිත කරන ලද සන්නිවේදන උපකරණ සමඟ බලධාරීන්ට භාර දී ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල මුළු වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 6ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.