March 31, 2026

ලංකා සතොස ලොරියක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මීගමුව මහාධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

අද (31) ඇප මත මුදාහරින ලද අනෙක් සැකකරුවන් වන්නේ ලංකා සතොස හි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ප්‍රවාහන කළමනාකරු ය.

ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරොම් ප්‍රනාන්දු සහ අනෙකුත් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන එතනෝල් සමාගමකට සම්බන්ධ මෙහෙයුම් සඳහා මෙම වාහනය භාවිත කළ බවට චෝදනා එල්ල වූ අතර, එමඟින් රජයට රුපියල් මිලියන 2.5 ක අලාභයක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර තිබිණි.