
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගය පක්‍ෂයේ අම්බලන්ගොඩ නගරාධිපති ධුරයට තරග කළ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා (47) නමැති ව්‍යාපාරිකයා ඊයේ (22දා) පෙරවරුවේ අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක් තුළදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.
ඝාතනයට ලක් වූ කෝසල නමැත්තාට එරෙහිව මිනීමැරුම් සහ පාතාල කල්ලි සමග සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවද පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ කෝසල නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දකුණු පළාතේ දරුණු ගණයේ පාතාල නායකයකු බව කියන ලොකු පැටී සමග පෙරේදා (21දා) පැයකට ආසන්න වේලාවක් දුරකථන සංවාදයක නිරතව සිට ඇති බවද පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන්නේ කෝසල නමැත්තා දකුණේ පාතාල නායකයන් වන කරන්දෙණියේ සුද්දා, කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී දීර්ඝ කාලයක සිට සමීපව ඇසුරු කර ඇති බවයි. මොහු ලොකු පැටී පාර්ශ්වය සමග කලක් විරසක වී සිටි බවද විමර්ශනවලින් හෙළිවී ඇත. එහෙත් පසුගිය කාලයේ ලොකු පැටී සමග සබඳතා පවත්වා ඇති බවද ඔහුගේ ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක් වූ සංකියාදු හිරාන් කෝසල ද සිල්වා 47 වැනි වියේ පසුවිය. මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය පක්‍ෂයෙන් අම්බලන්ගොඩ නගරාධිපති ධුරයට තරග කර ඇත. අම්බලන්ගොඩ සජබ කණ්ඩායම් නායකයා ලෙසද කටයුතු කළ කෝසල තරග කර ඇත්තේ අම්බලන්ගොඩ කරික්තකන්ද කොට්ඨාසයටය. එහෙත් තමන් තරග කළ කොට්ඨාසය පරාදවීම නිසා මොහුට මන්ත්‍රී ධුරයක් හෝ හිමිවී නැත.
මොහු අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ආයතනයක කළමනාකරු ලෙස රැකියාව කරමින් සිට ඇත. ඊයේ පෙරවරු 8.30ට පමණ කෝසල නමැත්තා සිය ආයතනය විවෘත කර එහි කටයුතු පරීක්ෂා කරමින් සිටියදී යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇත.
ඉන් එක් අයකු ආයතනයට ඇතුළු වී කෝසල නමැත්තා ආසන්නයට ගොස් පිස්තෝල අවියකින් ඔහුට වෙඩි තබා ආයතනයෙන් පිටතට දිවගොස් ඇත. එහෙත් සිය ඉලක්කය සාර්ථක නොවූ බව තේරුම්ගත් පාතාල කුලී ඝාතකයා නැවත වරක් ආයතනයට කඩාවැදී දෙවැනිවරටත් කෝසලට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලාගොස් තිබේ.
ප්‍රහාරයෙන් කෝසල නමැත්තා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත. පලාගිය කුලී ඝාතකයන් ආඳාදොල කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඔවුන් පැමිණි යතුරුපැදිය අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම ඝාතනය කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකළේ ද එසේත් නැත්නම් ලොකු පැටීගේ පාර්ශ්වය විසින් කළේ ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.
මොහු ඝාතනය වීමෙන් පසු ඔහුට අයත් ජංගම දුරකථනය කිසියම් පුද්ගලයකු විසින් සඟවා ඇති බව පොලිසිය පවසයි. එහෙත් පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම ජංගම දුරකථනය සොයා ගැනීමට හැකිවිය.
කෝසල, ලොකු පැටී සමග සිදුකළ දුරකථන සංවාදය පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ එම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදීය.
ඝාතනයට ලක්වූ කෝසල නමැත්තා ඉකුත් 2015 වර්ෂයේ අගෝස්තු මස 04 වැනිදා පුද්ගලයකුට පොලුවලින් පහර දී මරාදැමීම සම්බන්ධයෙන් සහ 2014 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වැනිදා තියුණු ආයුධවලින් පහර දී කපා කොටා තවත් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බව පොලිසිය පවසයි.
කෝසල ඝාතනය කර පලාගිය කුලී ඝාතකයන් සොයා සීසීටීවී කැමරා ඔස්සේ විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart