December 22, 2025

රෝල් බෝල් සංගමයේ නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ඔවුන්ට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව ඩුබායි හි පැවති 7 වැනි රෝල් බෝල් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම චෝදනා කරයි.

තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි කාන්තා සහ පිරිමි කණ්ඩායම් පැවසුවේ සංගමය වීසා සඳහා අයදුම් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකුට තරඟාවලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.

“අපි දෙසැම්බර් 13 වන දින තරඟාවලිය සඳහා පිටත්ව යාමට කොළඹට ආවා, නමුත් අපගේ සාමාජිකයින් කිහිප දෙනෙකුට ඔවුන්ගේ වීසා ලැබී තිබුණේ නැති නිසා පිටත්ව යාමට නොහැකි වුණා. කණ්ඩායම් දෙකෙහිම පුහුණුකරුවන්ට සහ කණ්ඩායම් කළමනාකරුවන්ටද ඔවුන්ගේ වීසා ලැබී තිබුණේ නැහැ. 16 වැනි දිනය වනවිට වීසා සකස් කරන බවත්, සෑම කෙනෙකුටම එකට ගමන් කළ හැකි බවත් සංගමය දැනුම් දුන්නා. කෙසේ වෙතත්, එදිනත්, අපගේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකරුවන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ වීසා ලැබී තිබුණේ නැහැ. වීසා ඇති අයට පිටව යන ලෙස සංගමය දැනුම් දුන් අතර ඉතිරි අය පසුදා එක්වන බව පැවසුවා. කාන්තා කණ්ඩායම අවසන් පූර්ව තරඟය දක්වා තරඟ කළත් අවසාන මොහොත දක්වාම, ඉතිරි ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය නොපැමිණි අතර, තරඟාවලියට සහභාගී වීමේදී දැඩි දුෂ්කරතා ඇතිවුණා” යනුවෙන් කණ්ඩායමේ සාමාජිකාවක් ජනමාධ්‍ය හමුවේ පැවසුවාය.

තරඟය ආරම්භ වී දින දෙකකට පසු ක්‍රීඩකයන්ට හෝ පුහුණු කාර්ය මණ්ඩලයට වීසා අයදුම් කළ නොහැකි බව ශ්‍රී ලංකා රෝල් බෝල් සංගමය දැන සිටි බවට ද ඔවුහු චෝදනා කළහ.

සහභාගීත්වය සඳහා පමණක් ඔවුන් යවා ඇති බවත්, අවශ්‍ය සහාය ලබාදීමට සංගමය අපොහොසත් වී ඇති බවත් පවසමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.