December 18, 2025

හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ වූ මාර්ග අනතුරක් සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

2025 දෙසැම්බර් 11 වන දින හිටපු කථානායක අශෝක සපුමල් රන්වල විසින් පදවන ලද ජීප් රථයක් සපුගස්කන්ද, දෙනිමුල හන්දිය අසලදී යතුරුපැදියක් සහ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

සිද්ධියෙන් පසු, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් නිසි ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාකර ඇත්දැයි තීරණය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්ෂණයක් පැවැත්වීය.

සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC), අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කළ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් ස්ථානය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජකාරි පැහැරහැරීමක් වැනි ක්‍රියාවන් සිදුකර ඇති බව විමර්ශනයෙන් හෙළිව තිබේ.

ඒ අනුව, අදාළ නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී තිබේ.