November 20, 2025

ත්‍රිකුණාමලයේ ප්‍රශ්නයට මුල්වෙන්නේ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයිති බව කියන ඉඩමක ප්‍රශ්ණයකි.

මේ ඉඩම පිහිටා ඇත්තේ, ත්‍රිකුණාමලය සුන්දර වෙරළට මායිම්වය.

පසුගිය දින කිහිපයේ මේ ස්ථානයේ ඉදිකල තාවකාලික ඉදිකිරීමක බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර එය මුල්කරගෙන විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය කරමින් තිබිණි.

2014 දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ඉඩම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට පූජා භූමි ඔප්පුවකින් ලබා දුන් බව විහාරාධිපති හිමියයෝ සහ දායක සභාව පවසති.

මේ ඉඩමේ වර්තමානයේ ඇත්තේ, ඩජ්බේ කොෆියෝ නමින් ක්‍රියාත්මක ව්‍යාපාරයකි.

2023 වසරේ ආරම්භ කළ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ L.T පෙරේරා නමැති අයෙකි.

L.T පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණමලය ආසන සංවිධායක දීපානි ලියනගේ නමැත්තියගේ ඥාතියෙකි.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයත් බව කියන මේ ඉඩමේ දීපානි ලියනගේ, ඇගේ බෑණා ඇතුළු පිරිසක් මැදිහත්ව එම ව්‍යාපාරය ආරම්භ කර තිබුණේ දායක සභාවේ අනුමැතියෙනි.

විහාරස්ථානයේ විදුලි බිල ඇතුළු අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සදහා මේ ව්‍යාපාරයේ ආදායමෙන් හතරෙන් එක්ක යොදාගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 4 වැනිදා ‘ඩජ්බේ කොෆියෝ’ නමැති අවන්හල අනවසර ඉදිකිරීමක් බව දැනුම්දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එය ඉවත්කර ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට දැනුම්දී තිබේ.

එහෙත් එහිදී විහාරාධිපති හිමියන් ඇතුළු පාර්ශ්වය මතුකළ කරුණු සලකා නිලධාරීන් ඉදිකිරීම ඉවත් කිරීමට දින 7ක සහන කාලසීමාවක්ද ලබාදී තිබු අතර,මේ දැනුම්දීම සිදුකර දින 7 ගතවීමට ආසන්න වෙද්දී ප්‍රශ්ණයට මුල්වූ ඩජ්බේ කොෆියා අවන්හලට මීටර් 50 ක පමණ දුරින් ඉදිකිරීමකට මුලපුරා ඇත.

එය දහම් පාසල් ගොඩනැගිල්ලක් යැයි ප්‍රකාශ කෙරුණු අතර පසුව බුදු පිළිම වහන්සේ නමක්ද එහි වැඩම කරවීමට පියවර ගැනිණි.

ත්‍රිකුණාමලයට පිටතින් පැමිණි බලංගොඩ කස්සප භික්ෂුව සහ කඩවත, වෑබඩ ප්‍රදේශයේ සිට පැමිණි දුලාර ගුණතිලක නමැති පුද්ගලයා ඇතුළු පිරිසක් මැදිහත්වී බුදුපිළිම වහන්සේ වැඩම කර තිබේ.

දුලාර ගුනතිකල නමැත්තා විවිධ නම්වලින් ආරම්භ කර ඇති සංවිධාන කිහිපයක්ම නියෝජනය කරන අතර යහපාලන ආණ්ඩුවේ අවසන් කාලසීමාවේ අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයකු ලෙසද සේවය කල අයෙකි.

පෙරේදා(16) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූයේ පොලීසිය බුදුපිළිම වහන්සේ ඉවත්කිරීමට උත්සාහ කළැයි කියමිනි.

තත්ත්වය සමනය කළ පොලිසීය ඊයේ(17) දහවල් වනවිට නැවතත් පිළිම වහන්සේ එම ස්ථානයට වැඩම කරවා තිබිණි.

මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කිරීමට සූදානම්වන බවත් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම ගොනුකර ඇත්තේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් විසිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.

විහාරස්ථානයට අයත් 57/ ටීජී දරන ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවද පෙත්සමේ සදහන් වේ.

විහාරස්ථානයේ කොටසක් ලෙස පෙත්සමෙන් පෙන්වාදෙන කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2025 ජූලි 18 සහ 2025 ජූනි 25 යන දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක්ද ඉදිරිපත් කළ බව විහාරාධිපති හිමියන් සිය පෙත්සමෙන් පෙන්වාදී ඇත.

එහෙත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව පෙත්සමේ සදහන් වේ.

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ ස්ථාවරයට කන්දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් පෙත්සමේ සඳහන් කර තිබේ.

අදාළ ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර, සිය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂ සහගත තීන්දුවක් බවද පෙත්සමේ සඳහන් වේ.

මේ අතර ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා සහ ඊට අදාළ රාජ්‍ය නිලධාරීන් සමග ජාතික ජනබලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මිමන සාකච්ඡාවක් පවත්වා තිබුණේ ඒ අතරතුරය.

එහිදී මතභේදාත්මක පිළිම වහන්සේ විහාරස්ථානයට අයත් භූමියේ තැන්පත් කිරීමටත්, විහාරස්ථානයට අයත් පැරණි ගොඩනැගිලි පැවති භූමිය හඳුනාගෙන නිසි පරිදි මායිම් සලකුණු කිරීමටත් එකඟතාවය පළකර ඇත.