November 20, 2025

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීමට දෙසැම්බර් 16 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ එම පෙත්සම ඊයේ (19) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉසුරු එදිරිසිංහගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ ෂේන් ෆොස්ටර් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ගේ විහාරය පිහිටි භූමිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රදානයක් වශයෙන් ලබාදී තිබූ බව සඳහන් කළේය.

ඉකුත් ජූලි 18 දා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයා වෙත ලිපියක් එවමින් අදාළ ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කර තිබෙන බව ද නීතිඥවරයා කියාසිටියේය.

ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනා ඉදිරිපත් කළත් එම අභියාචනය නිෂ්ප්‍රභ කෙරුණු බව ද නීතිඥවරයා පැවසීය.

පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ උන්වහන්සේගෙන් කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට නීතිඥවරයා චෝදනා කළේය.

අනතුරුව වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මනෝහර ජයසිංහ කරුණු දක්වමින් මෙම විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් තිබෙන බවත්, එම අනුමත සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේය.

මෙහිදී විනිසුරු ධම්මික ගනේපොල මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳාගැනීම සුදුසු බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යොමුකොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳව අධ්‍යයනය කර එහි යම් ගැටලුවක් තිබෙනවාදැයි සොයාබැලීම යෝග්‍ය බව විනිසුරුවරයා පාර්ශ්වකරුවන්ට යෝජනා කළේය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරීක්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත්, ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ එකඟතාව පළකළහ.

මෙම කටයුතු ඉටු කිරීමට සති දෙකක් ලබාදෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශ්වකරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව මෙහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම්දුන්හ.

එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් මතුවුවහොත් එමගින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වාදුන්නේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් 16 දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම්දෙන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.