
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම්කර තිබේ.
පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියාසිටින්නේ තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බවයි.
2014 වසරේ ජුනි මස හයවැනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ඉඩම එවක නායක හිමි මිහිඳුපුර මහින්දවංශ තිස්ස හිමිට බලපත්‍රයක් යටතේ පවරාදුන් බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරන ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
කෙසේවෙතත් මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් 2025.07.18 සහ 2025.07.25 දින වල ලිපි නිකුත් කළ අතර, ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් කියාසිටිති.
එහෙත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එහි සඳහන් වේ.
සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන්දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කරති.
අදාළ ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර, සිය ඉදිකිරීම් කඩා ඉවත්කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂසහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
ඒ අනුව අදාළ විහාරස්ථාන ඉදිකිරීම් හෝ ඉන් කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම කඩා ඉවත්කිරීම් වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විහාරාධිපති හිමියෝ අභියාචනාදීකරණයෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම මෙම පෙත්සම විවාද කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අදාළ ඉදිකිරීම් කඩා ඉවත්කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart