November 17, 2025

ඊශ්‍රායලයේදී ගෙළ කපා ඝාතනය කර ඇතැයි කියන 38 හැවිරිදි දෙදරු පියාගේ මෘතදේහය සතියක් තුළ ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ‘දිවයින’ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

රිය අනතුරු සහ සෞඛ්‍ය හේතු මත ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයන් මියයෑම් වාර්තා වුවත් ඝාතනයකින් ශ්‍රී ලාංකිකයකු මියයෑම පළමුවරට වාර්තා වූයේ මෙය බව ද තානාපතිවරයා පවසා තිබේ.

ඝාතනයට ලක්වූ 38 හැවිරිදි ගාල්ල, අම්බලන්ගොඩ, බටපොල පදිංචි තරිඳු ශානක නමැත්තා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩු රැකියාවක් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලට පැමිණ ඇත.

ඔහු ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමග සිට ශරීර අවශ්‍යතාවයක් සඳහා ගොස් සිටියදී අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයකු සමග ඇතිකරගත් බව කියන සිද්ධියකින් පසු ඔහු විසින් මෙම ඝාතනය කර ඇති බවක් පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අවට CCTV දර්ශන උපයෝගි කරගෙන ඊශ්‍රායල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා තෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද තානාපතිවරයා පවසයි.

මියගිය පුද්ගලයාගේ සිරුර ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහුගේ බිරිඳ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඊයේ වනවිට මෘතදේහය වෝහාරික වෛද්‍ය ආයතනයේ පැවැති බවත් හෙතෙම සඳහන් කරයි.

මෘතදේහය මෙරටට ගෙනඒම සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැයවන බවත්, එම මුදල තානාපති කාර්යාලය මගින් (රක්ෂණ ආවරණය) වැයකර මෘතදේහය දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් තානාපතිවරයා පවසයි.

රැකියාවේ නිරතවී සිටියදී අනතුරක් සිදුවුවහොත් වන්දි ලබාදීම සිදුවන බවත්, එසේ වන්දි ලබාදීම් (මාසික වැටුප්) මේ වනවිට කිහිපදෙනකු සඳහා සිදුවන බවත් පෙන්වාදෙයි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 26,000ක් පමණ ඊශ්‍රායලයේ සිටින බවත් මේ වසර අවසන් වනවිට තවත් 1000ක් පමණ පැමිණීමට නියමිත බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.