November 11, 2025

තමන් සම්බන්ධයෙන් ඉකුත් දා පළවූ ජනමාධ්‍ය වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය.

එහිදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා විසින් ඉකුත් දා අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී නොවූ පවසමින් එම ජනමාධ්‍ය වාර්තා පළකර තිබූ බවයි.

තමන්ට එරෙහිව අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බැවින් ජනමාධ්‍යකරුවන්ගෙන් සැඟව සිටීම සඳහා තමන් එම අවස්ථාව මගහැර ඇතැයි එම වාර්තා මගින් දක්වා තිබූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසුවේ, අදාළ නඩුව වසර 17 ක් පුරා විභාග වන්නක් බව සහ තමන් අධිකරණය මගහැර යාමක් සිදුකර නොමැති බවත්ය.

එහෙත් මෙම වාර්තා මගින් පෙන්වාදෙන දිනයකදී අධිකරණය හමුවේ පෙනීසිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කළ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේවෙතත් අධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර තිබූ බැවින් තමන් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ බව ද, වරෙන්තුව යළි කැඳවා තිබූ බව ද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙත් තමන් අධිකරණය මගහරිමින් සිටින බවට ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කරමින් සිටින බවට ද මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, මෙම සිද්ධිය හමුවේ තමන් පමණක් නොව පොලිසිය ද අපහසුතාවට පත්වන බව සහ පොලිසිය ඔවුන්ගේ රාජකාරිය ඉටුනොකරන බවට ජනමතයක් නිර්මාණය විය හැකි බවයි.