June 27, 2026

අන්තර්ජාතික රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 96 දෙනෙකු විවිධ රටවල සැඟව සිටින අතර, ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙම සැකකරුවන් 96 දෙනාගෙන් 37 දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව,

– එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) 19 දෙනෙකු
– ඉන්දියාවේ 11 දෙනෙකු
– මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය සහ සෞදි අරාබිය යන රටවල: එක් අයෙකු බැගින් ද සැඟව සිටින බව හඳුනාගෙන තිබේ.

පසුගිය මාස 20 ක කාලය තුළ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සැකකරුවන් 58 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති බවත්, ඉන් 23 දෙනෙකු අන්තර්ජාතික රතු නිවේදන හරහා සහ අනෙක් 35 දෙනා එවැනි නිවේදන නොමැතිව ගෙන්වා ගත් අය බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයාට අනුව, මේ වන විට සමස්තයක් ලෙස පුද්ගලයන් 232 දෙනෙකුට එරෙහිව අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඉන් 96 දෙනෙකුම සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෝ වේ.

මෙම සැකකරුවන් බොහොමයක් විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකාව තුළ සිටින ඔවුන්ගේ සගයන්ට එරෙහිවද නීතිමය පියවර ගනිමින් සිටින බවත් ඇමැති විජේපාල සඳහන් කළේය.

මීට අමතරව, නීතිවිරෝධී කටයුතු හරහා ඔවුන් උපයාගෙන ඇති බවට සැකකෙරෙන දේපළ හඳුනාගෙන ඒවා රාජසන්තක කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.