March 20, 2026

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද(20) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

‘සතොසින් පිරි අවුරුදු සිරි’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර රුපියල් 2500ට වැඩි සෑම මිළදී ගැනීමක් සදහාම අගනා ත්‍යාග පිරිනමන කූපන් පතක් හිමි වේ.

එම කූපන් පත් අතරින් ප්‍රවර්ධන වැඩසටහන අවසන් වන අප්‍රේල් මාසය අවසානයේ දී දිනුම් ඇදීමක් මගින් තෝරාගන්නා ජයග්‍රාහකයන්ට BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, Electric Scooter යතුරුපැදි, ගෘහ භාණ්ඩ කට්ටල, Smart ජංගම දුරකථන ඇතුළු ත්‍යාග පිරිනමනු ලබයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරියේදී තව තවත් මිල අඩුකිරීම් සිදුකිරීමට ලංකා සතොස ආයතනය සැලසුම් කර තිබේ.

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එම මාධ්‍ය හමුවට ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ මෙම ප්‍රවර්ධන වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා සැපයුම්කරුවන් ද එක්විය.

ලෝකයේ යුදමය තත්වයක් පැවතියදී සියලු දෙනා හදිසි මලදී ගැනීම්වලට යොමුව ඇති පසුබිමක භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යමින් තිබේ.

එවැනි පසුබිමක් තුළ රජයේ විශාලතම වෙළෙඳසැල් ජාලය වන ලංකා සතොස හරහා රට පුරා ජනතාවට භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් උත්සව සමයේ ආරම්භ කරන විශේෂ වැඩපිළිවෙල පිළිබඳ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැහැදිලි කරන ලදී.

“උත්සව සමයේදී රටේ ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය කරන සැලසුම වෙනුවෙන් ලංකා සතොස ආයතනය සූදානම් වුණා. යුදමය තත්ත්වය වාර්තා වෙන්නේ පෙබරවාරි මාසය අවසානයේ. අපි මාර්තු මාසයේ මුල සිටම මේ සඳහා වූ සූදානම නිසා තමයි අපිට පුළුවන් වුණේ, උත්සව සමය සදහා හිඟයකින් තොරව වෙළෙඳපොළ මිලටත් වඩා අඩුවෙන් පාරිභෝගික ජනතාවට සහන දෙන්න. ඉතිං ඒකේ අරමුණ මේ මොහොතේ ලංකා සතොස ලාභ ලැබීම වෙනුවට ජනතාවට අනෙකුත් එන පීඩාවන් හා දුෂ්කරතාවන්ට සවියක් වෙමින් ඔවුන් ලබාගන්නා බඩු මල්ලෙන් හෝ සහනයක් ලබා ගත හැකි වටපිටාව සැකසීමයි.

අපි සතු 430කට ආසන්න වෙළෙඳසැල් හරහා ඉදිරි උත්සව සමය අවසන් වන තෙක් මෙම සහන මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට මේ රටේ ජනතාවට ආණ්ඩුවේ ආයතන යොදාගෙන ලබා දිය හැකි උපරිම සහනදෙන්න අපි කටයුතු කරනවා. එදිනෙදා වැඩ කරන ජනතාවට තෙල් හිඟවීම තුළින් තණකොළ කපන කෙනාට, ලී ඉරණ කෙනාට, කුලී වැඩට යන කෙනාට, යතුරුපැදියෙන් එදිනෙදා රැකියා වලට යන අයට දුෂ්කරතාවන් ඇතිවෙලා තියෙනවා.

ඒ දුෂ්කරතාවන්වලදී ඇතිවන යම්කිසි ආර්ථික අපහසුතාවක් දැනෙනවා නම් ඒ ආර්ථික අපහසුතාවයට සහනයක් දෙන්නයි අපි ලංකා සතොස ආයතනය හරහා මේ අඩු මිලට බඩු ලබාදීමට තීරණය කරන්නේ. ඒ නිසා අඩු මිලටත් වඩා අඩුවෙන් සතොසින් බඩු ගන්න ලංකා සතොසට එන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා.

ඇත්තටම ලංකා සතොස කියන්නේ වෙළෙඳපොළේ මිල පාලනය කරන්න, ජාතියේ මිල තීරණය කරන්න, අපි හදපු ආයතනයක්. මේ ආයතනය හදන දවසේ ඉදන් මට සම්බන්ධයක් තියෙන නිසා මං මේක දන්නවා. ඒ නිසා අදත් ලංකා සතොසේ කාර්යභාරය වෙන්නේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට හිඟයකින් තොරව බඩු ලබා දෙන එක.

පාරිභෝගිකයා බඩු ගන්නේ ගෙදර අවශ්‍යතාවයටනේ. මුදලාලිලා බඩු ගන්න ගියාමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඒනිසා අපි සීමාවක් දානවා. පාරිභෝගිකයාගේ මිලදී ගැනීම් රටාව අපි දන්නවා. ඒ අනුව මේ සහනය පාරිභෝගිකයාට ලබාගත හැකි වන පරිදි සෑම භාණ්ඩයක්ම සීමාවන්ට යටත්වයි විකුණන්නේ.”