March 13, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ වත්මන් නිලධාරීන් සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරුවන්ට අදාළ වැඩිදුර පරීක්ෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඔවුන් සිව්දෙනා 2026 මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

වංචනික වාහන ලියාපදිංචි කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අය අතර හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු,හිටපු ලිපිකරුවකු, විමර්ශන සහ සංවර්ධන සහකාරවරයකු සහ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයකු සිටින බව වාර්තා වේ.

ඔවුන්ට එරෙහිව ඇති චෝදනා අතර රේගු නිෂ්කාශනයකින් තොරව ආනයනය කරන ලද වාහන හතරක් (රේගු බදු නොගෙවා) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධ චෝදනාවක් ද වේ.

නීති විරෝධී පැවරීමකින් එම වාහන ලියාපදිංචි කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට හිතාමතාම ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවට තවදුරටත් චෝදනා එල්ල වේ.

ඊට අමතරව, මෝටර් රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛනයක් දැනුවත්ව පිළිගෙන අංකයක් නිකුත් කිරීම මෙන්ම නිසි පෝරමයක් නොමැතිව මෝටර් රථයක බරට අදාළ ඉල්ලීම් පෝරමයක් සඳහා ව්‍යාජ ලේඛන සමඟ ඉදිරිපත් කිරීමක් අනුමත කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.