June 3, 2023

පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 10 ත් 24 ත් අතර ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගෙන් 39% ක්ම විෂාදයෙන්(Depression) පෙළෙන බවයි.

ජර්මනියේ සමාජ මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක වසංගතවේදය පිළිබඳ කීර්තිමත් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය ඔස්සේ, රට තුළ පවතින මානසික සෞඛ්‍ය ගැටලුවේ විශාලත්වය ඉස්මතු කරන භයානක සංඛ්‍යාලේඛන හෙළි කර ඇත.

මෙහිදී පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම වසර 20ක කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් 52,000කට අධික පිරිසක් ඇසුරින් සිදුකර ඇති අධ්‍යයන 33ක් ඇගයීමට ලක්කර තිබේ.

මෙම පර්යේෂණ කණ්ඩායම සිදුකර ඇති සොයාගැනීම්වලට අනුව, සමස්ත ශ්‍රී ලාංකික ජනගහණයෙන් 19.4%ක් මානසික අවපීඩනයෙන් පෙළෙති.

අනෙකුත් ආසියානු රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ මානසික අවපීඩනයේ ව්‍යාප්තිය සැළකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයනගෙන් 18.4%ක්ද මානසික අවපීඩනය අත්විඳින අතර, මාතෘ ජනගහණය සහ වයස අවුරුදු 25 සහ 60 අතර වැඩිහිටියන්, පිළිවෙලින් 16.9%ක් සහ 8.7%ක් ලෙස මානසික අවපීඩනයට ලක්ව සිටිති.

(උපකාර අවශ්‍ය ඕනෑම අයකුට ජාතික මානසික සෞඛ්‍ය උපකාරක අංකය 1926 ඇමතීමට හැකිය)